යුක්රේනයේ ටෙනිස් රැජන එලීනා තුන්වැනි වටයට | දිනමිණ

යුක්රේනයේ ටෙනිස් රැජන එලීනා තුන්වැනි වටයට

යුක්රේනයේ සුරූපි ටෙනිස් ක්‍රීඩිකා එලීනා ස්විටෝලිනා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබීමට ඊයේ සමත්වූවාය. දෙවැනි වටයේ ඊයේ පැවැති තරගයේදී ස්ලෝවේකියාවේ වික්ටෝරියා කුස්මෝවාට එරෙහිව ලකුණු 6-4ක් සහ 6-1ක් ලෙස ජය අත්කර ගත් 24 හැවිරිදි එලීනා ජාත්‍යන්තර ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැන පසුවන්නීය.

මෙල්බර්න් නුවර රොඩ් ලේවර් ටෙනිස් පිටියේ පැවැති මේ තරගයෙන් පසුව ඊළඟ වටයේදි මුහුණදීමට නියමිතව ඇත්තේ චීනයේ ෂාං ෂූයි සමගය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිවුවැනි දිනය වූ ඊයේ කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවන රුමේනියාවේ සිමෝනා හැලේප් ද ලකුණු 6-3ක්, 6-7ක් සහ 6-4ක් ලෙස අමෙරිකාවේ සොෆියා කෙනින් පරාජය කරමින් තුන්වැනි වටයට එක්වීමට සමත්වූවාය.

මේ අතර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 7ක් දිනූ අමෙරිකාවේ වීනස් විලියම්ස් තුන්වැනි වටයට පිවිසීමට ඊයේ සමත්වූයේ ප්‍රංශයේ ඇලීස් කෝනෙට් ලකුණු 6-3ක්, 4-6ක් සහ 6-0ක් ලෙස පරාජය කරමිනි.

චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා සහ අමෙරිකාවේ මැඩිසන් බ්‍රෙන්ග්ල් අතර පැවැති තරගයෙන් ලකුණු 4-6ක්, 6-1ක් සහ 6-0ක ජයක් වාර්තා කළ ප්ලිස්කෝවා තුන්වැනි වටයට සුදුසුකම් ලැබුවාය.

 

නව අදහස දක්වන්න