නුවර සිදුවීමෙන් අවස්ථාවාදී ජාතිවාදීන්ට කනේ පාරක් වැදුණා | දිනමිණ

නුවර සිදුවීමෙන් අවස්ථාවාදී ජාතිවාදීන්ට කනේ පාරක් වැදුණා

අද තියෙන තත්වයට වඩා දරුවන්ගේ නායකත්වය හා නායකත්ව හැකියාව සිය දහස් ගුණයකින් ඉදිරියට යා යුතුයි. අධ්‍යාපන දැනුම ලබා ගැනීමට අද දරුවන් එතරම් උනන්දු නෑ. සල්ලි හම්බ කරන්න පුළුවන්. යාන වාහන, ගෙවල් දොරවල් හම්බ කරන්න පුළුවන්. ඒත් එක දවසෙන් ඒ සියල්ල විනාශ වෙන්නත් පුළුවන්. ඒත් දැනුම කිසි කෙනෙකුට හොරකම් කරන්න බෑ. මැරෙන තුරාවට තම සෙවනැල්ල මෙන් එන්නේ දැනුම පමණයි. හොරකම් කළල නොහැකි එකම දේත් දැනුමයි.

පසුගිය දවසක දැනුම හොරකම් කරල දේශපාලනඥයෙකුට සිදු වූ දේ කාටත් මතකයි. ඒක මෙතනට අනවශ්‍ය නිසා ඒ ගැන මම කියන්න යන්නෙ නැහැ.

අද වන විට අපේ ඔළු ගෙඩිවලට ජාතිවාදය සහ ආගමික අන්තවාදය බලහත්කාරයෙන් ඇතුලත් කරලා. එය අපි පැරදවිය යුතුමයි. පසුගිය දවස්වල නුවර බිල්ඩින් එක ගිනි ගත්ත වෙලාවෙ දරුව පහළට විසි කරන එක පියෙකුට ගත හැකි ලේසි පහසු තීන්දුවක් නෙවෙයි. ඒ දරුවා අත හරින්න එපා කියල කෑ ගැහුව. ඒ වෙලාවෙ සිංහල, මුස්ලිම් සියලුම දෙනා කඩි ගුලක් වගේ මේ පවුල බේරගන්න බැලුව. මුස්ලිම් කඩවල වටිනා සාරි අල්මාරි කඩල ගෙනත් දුන්නෙ ඒ අල්මාරිය අරින්න කලබලේට. ඒ වෙලාවෙ මනුස්සකම පිරිල තිබුණ. මේ ද්‍රවිඩද සිංහලද කියල බැලුවෙ නෑ. කාගෙත් ඇඟේ කැපුවොත් බේරෙන්නෙ රතු පාට ලේ. මේ ජාත්‍යන්තර ප්‍රජාව එය අවබෝධ කර ගත යුතුයි. ඒ නිසා අපි කවුරුත් එකතු වී රට හදමු කියන පණිවිඩය තමයි අපි දෙන්නේ යයි ද පැවසීය.

හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඉහත අදහස් පල කළේ කරන්දෙණිය විදුහලට 75 වසර පිරීම නිමිත්තෙන් පැවති සැණකෙලිය හා ප්‍රදර්ශන වැඩ සටහනේ 07 දිනයේ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

ධර්‍මදාස සිරිවර්‍ධන
ගාල්ල දිස්ත්‍රික් සංචාරක

නව අදහස දක්වන්න