සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආධුනික බාධකය | දිනමිණ

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආධුනික බාධකය

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂයේදී සිංහල නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ ඇතුලු විෂයන් කීපයක් සඳහා අත්පිටපත් තරඟයක් පවත්වනු ලබන බවට පුවත්පත් දැන්වීමක් ඇස ගැසුණි. තරගයේ අරමුණු සහ විස්තර කියවීමේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ගෞරවණීය ස්තූතියක් පුද කළ යුතු බවට සිතුවිල්ලක් පහළ වූ බැවින් මෙන්න මගේ ස්තූතිය.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමියගේ නමින් පළකර තිබූ පුවත්පත් දැන්වීම නිර්මාණශීලි ලේඛක පරපුරකට අතදීමක් වශයෙන් අපට අගය කළ හැකිය. එහෙත් අධ්‍යක්ෂතුමියනි මෙහි අංක 6 දරන කොන්දේසිය මඟින් මෙම උදාර කාර්යයෙහි සීමාව තරමක් පටුවන බවක් දැණේ. එම කොන්දේසියෙන් කියැවෙන්නේ මෙම තරගය ආධුනික ලේඛකයන් සඳහා පමණක් සීමාවන බවයි. එයද වරදක් නැත. එහෙත් ආධුනික බව අර්ථ දැක්වීමේදී කණගාටුදායක සීමාවක් නිර්දේශ වී තිබේ. එනම් “මෙතෙක් සිය නිර්මාණ මුද්‍රණද්වාරයෙන් එළි දක්වා නොමැති ලේඛකයකු බව” ප්‍රකාශ වීමයි.

මේ අනුව ආධුනික නවකතාකරුවකු, ආධුනික කවියකු සාර්ථක නිර්මාණයක් ගොඩනගාගෙන මුද්‍රණය කිරීමට වත්කමක් නොමැතිව බලා සිටියත් ඔහු හෝ ඇය අසාර්ථක ගණයේ යම් කෘතියක් ඔහුගේ හෝ ඇයගේ අපරිනත අවධියේදී රචනාකොට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් කර තිබුණා නම් මෙම අවස්ථාව මඟහැරී යයි.

වෙනත් ආකාරයකට පවසතොත් ශිෂ්‍ය අවදියේ හෝ යොවුන් වියේ යම් ළමා කෘතියක් හෝ පද්‍ය සංග්‍රහයක් පළ කර ඇති අයෙක් ආධුනික ලේඛකයෙක් ලෙස පිළිනොගැනේ. ඔහු හෝ ඇය කෙතරම් සාර්ථක අත්පිටපතක් ඉදිරිපත් කළත් එය මෙම ව්‍යාපෘතිය යටතේ මුද්‍රණය නොකෙරේ.

මෙම ක්‍රමවේදය තුළ අප දකින ඉහත කී අඩුපාඩුව මඟහරවා දී ඒ ඒ අංශයන් යටතේ යම් සීමාවක් පනවන්නේ නම් මැනවි. උදාහරණයක් ලෙස නවකතා අත්පිටපතක් ඉදිරිපත් කරන ලේඛකයා හෝ ලේඛිකාව මෙතෙක් කිසිඳු නවකතා කෘතියක් මුද්‍රණයකොට පළ කළ කෙනෙකු නොවිය යුතුය. කෙටිකතා අත්පිටපතක් නම් මීට පෙර මුද්‍රිත කෙටිකතා සංග්‍රහයක් පළකළ කෙනෙක් නොවිය යුතුය.

මෙවැනි සංශෝධනයක් හෝ වෙනත් විකල්ප ක්‍රමවේදයක් හෝ යථාකාලයේදී අපට දැනගැනීමට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන මා කර්තෘ ප්‍රකාශන ලෙස පද්‍ය සංග්‍රහයන් තුනක් මුද්‍රණය කොට ආධුනික බව අහිමි කරගෙන වෙනත් විෂයන් යටතේ අත්පිටපත් කීපයක් ලියා මුද්‍රණය කරගත නොහැකිව බලා සිටින ලේඛකයෙකි.

පරිවේණාචාර්ය, ශාස්ත්‍රපති
වික්‍රමසිංහ අතපත්තු
තලවත්තේගෙදර

නව අදහස දක්වන්න