අධිකරණ තීන්දුවලට අපි බලපෑම් කරන්නේ නැහැ | දිනමිණ

අධිකරණ තීන්දුවලට අපි බලපෑම් කරන්නේ නැහැ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය
ඇමැතිනි තලතා අතුකෝරළ

අලුත් කොමිසම් ගැන ජනතාව දැඩි අවධානයෙන්
- ආශු මාරසිංහ

වැඩි කාලයක් නොගෙන වැරදිකරුවන්ට නඩු පවරන්න
- මහින්ද අමරවීර

නඩු ඇසීම වේගවත් කිරීමට වැඩපිළිවෙළක් හැදුවා
- ඇමැති අජිත් පී. පෙරේරා

කොමිසම් සභා වාර්තා ගැන තීන්දුවක් ගත යුතුයි
- සුනිල් හඳුන්නෙත්ති

තමන්ට වාසි සහගත ලෙස තීන්දු තීරණ ලබාගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට තෑගි බෝග ලබාදෙන හා ඔවුන්ගේ සාදවලට සහභාගි වන කිසිවකුත් වත්මන් ආණ්ඩුව තුළ නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) ප්‍රකාශ කළාය.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (22) රැස්විය. නිවේදන, ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.

පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනිණි.

විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා - මේ කොමිෂන් සභා පනත මීට පෙර ඉදිරිපත් කළා, ඒ පනතට තවත් වගන්ති පහක් එකතු කිරීමටයි අද විවාද කරනනේ. මෙම පරීක්ෂණ කොමිෂන් සභාවේ සිදුකරන විමර්ශන නීතිපතිතුමාට නඩුවක් ගොනුකරන්න පුළුවන්. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවටත් මෙයින් උපුටා ගන්න පුළුවන්. ඒ අයටත් නඩු පවරන්න පුළුවන් වෙනවා. පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් නඩු කටයුතුවලට භාවිතා කරන්න පුළුවන්.

උනන්දුවෙන් වැඩ කරන අධ්‍යක්ෂ ‍ජනරාල්වරයෙක් පත්කරලා තිබෙනවා. ඒ නිසා මේ කොමිෂන් සභාවෙන් ලබාදෙන වාර්තාවලින් කඩිනම් ප්‍රතිඵල තියේවි. 1980 දී මේ පරීක්ෂණ කොමිසම්වලින් ලබාදෙන පොඩි වාර්තාවලට පවා නඩු ගොනුකිරීමට කටයුතු කළා. එදා රෝහලක මුරකරුවකු රුපියල් 2 ක අල්ලසක් ගත්තා කියා නඩුවක් ගොනුකළා. ඒ නිසා අල්ලස රුපියල් 1000 ට වඩා වැඩි නම් තමයි පරීක්ෂණ කොමිෂන් සභාවට ඇතුළත් කරන්නේ. සංශෝධනය ගෙනාවා.

වත්කම් පිළිබඳ තමයි අද කාලෝචිත. බයිසිකලේ යන පුද්ගලයා ටික දවසකින් මහා මන්දිර හදනවා. වාහන දහය පහළව තිබෙනවා. ඒ නිසා අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ වත්කම් නිලධාරීන් විමසිලිමත්ව කටයුතු කළ යුතුයි. එදා අල්ලස් කොමිසමේ වත්කම් නිලධාරීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙනාවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම අල්ලස් කොමිසම අකාර්යක්ෂම වුණා. එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න තමයි මේ සංශෝධන ගෙන එන්නේ. මුදල් විශුද්ධිකරණයට හා දණ්ඩ නීති පනතට අනුව දැනටමත් නීතිපතිවරයාට නඩු පැවරිය හැකියි.

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

රත්නපුර දිස්ත්‍රික් ‍මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස) - පරීක්ෂණ කොමිෂන් සභා නිර්දේශ ලබා දෙනවා. විශේෂ කොමිෂන් සභාවකට ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන්. අද කතා කෙරෙන්නේ පරීක්ෂණ කොමිෂන් සභාවන් ගැනයි. අපි අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි තිබෙනවා. ඒවා තවමත් ක්‍රියාත්මක වී නැහැ. පැමිණිලි සම්බන්ධයෙන් කාර්යක්ෂම නොවූ අල්ලස් කොමිසම එසේ වීමට හේතු වූ කරුණු මොනවාද? පරීක්ෂණ කොමිසන් සභාව විසින් ලබාදෙන නි‍ර්දේශ අල්ලස් දූෂණ කොමිසම කඩිනමින් කටයුතු කරයි කියා තිබෙන සහතිකය කුමක් ද? අල්ලස් කොමිසමට මම පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කුමක් කළාද කියා මා දැනුවත් කර නැහැ. වත්කම් හා බැරකම් පනතයි, අල්ලස් දූෂණ පනතයි මේ සංශෝධනයට ඇතුළත් වෙන්නේ කියා තිබෙනවා. බටලන්ද කොමිසමේ හා බැඳුම්කර කොමිසමේ නිර්දේශ හරියාකාරව ක්‍රියාත්මක වුණාද?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - බටලන්ද කොමිසම හා බැඳුම්කර කොමිසම ගැන නොදන්න අය සමඟ කතා කර වැඩක් නැහැ.

නානායක්කාර මහතා - ඔබතුමාට පාර්ලිමේන්තුවෙත් විතරක් නෙවෙයි රටින් පැනල යන්නත් පුළුවන් වෙයි. ඔබලා ජනයා ඉදිරියට යන්නේ නැහැ. අධිකරණයෙ තමයි ගිහින් හැංඟෙන්නේ. ව්‍යවස්ථා සභාවෙන් තමයි ප්‍රධාන තනතුරුවලට පත් කරන්නේ. නමුත් එහි ක්‍රමවේද අපි දන්නෙ නැහැ. එම ව්‍යවස්ථා සභාවේ නිර්ණායක මේ වන තෙක් ඉදිරිපත් වෙලා නැහැ. ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා - දූෂණයට එරෙහිව තරාතිරම් නොබලා කටයුතු කළ යුතුයි. මන්ත්‍රීවරයාටත් ගමේ පුංචි මිනිසාටත් එකම නීතියක් තිබිය යුතුයි. සමහරු ඡන්දදායකයා නොමඟ යවමින් කටයුතු කරනවා මෙය වහන්න බැහැ. අද ගෙන එන පනත තුළ සංශෝධන එක්ක වංචා දූෂණ අවම කළ හැකියි. පසුගිය රජය කාල‍ෙය් වුණ දූෂණ 34 ක් තිබෙනවා. එජාපයේ අය වැරැදි කළා නම් ඔවුන්ටත් නීතිය එකයි. දිවි නැඟුම පනත අනුමත කළේ නැහැ කියලා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුකමින් ඉවත් කිරීමට පසුගිය රජය කටයුතු කළා. ඒ පිළිබඳව මේ අයට දැන් මතක නැහැ. දින 51 අර්බුදය වුණ නිසා මේ වසරේ අයවැය ගේන්න වෙලා තිබෙන්නේ මාර්තු මාසයේදීයි. මෙවැනි දෙයක් සිදු වුණේ ඉතිහාසයේ පළමු වතාවටයි. වාසුදේව නානායක්කාර මහතා කිව්වා අධිකරණයට වඩා කොමිසම බලවත් කියා. මම එතුමාගෙන් නැවතත් අහනවා කොමිසමේ නිර්දේශ ද අධිකරණ තීන්දු ද බලවත් කියලා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා (දෙ.ජා.ස.) - රජය වෘත්තීන් සඳහා තරග විභාගවලට පෙනී සිටි අයදුම්කරුවන් දෙමළ අය සමත් ප්‍රතිශතය වැඩි නම් එම රැකියා ලබා නොදෙන තත්ත්වයක් මතුවෙලා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා - විභාග කල්දමා නැහැ. විභාග ප්‍රශ්න පත්‍ර පිටවුණා කියලා ආරංචියක් මත පරීක්ෂණයක් වෙනවා. ප්‍රතිඵල අනුව අපි රැකියා ලබාදෙනවා. දෙමළ විශාල ප්‍රමාණයක් සමත් වුණා කියලා මේ වැනි විභාග නැවත පැවැත්වීමක් සිදුවන්නේ නැහැ.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා - මේ පනතට මා සහාය දෙනවා. ජනාධිපතිවරයාත් මේ පනත ගැන පසුගිය කාලේ කතා කළා. දැනට නීති ගණනාවක අල්ලස් හා දූෂණය ගැන නීති සඳහන් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156/A මේ සියලු නීති එකතු කර එක් පනතක් ගෙන ආ යුතුයි කියා යෝජනා කර තිබෙනවා. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ලබාගෙන නැවත පරීක්ෂණ කළ යුතුව පෙර තිබුණා. මේ සංශෝධන හරහා පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි කෙළින්ම නඩුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සංවෘත්ත නීතියක් ගෙනඒමට අප බලාපොරොත්තු වෙනවා. නඩු විභාග ප්‍රමාදවීම ගැන රටම අහනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා (එජනිස) - අල්ලස් කොමිසම ස්වාධීන කොමිෂන් සභාවක් ද කියා අපට සැකයක් තිබෙනවා. 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත්වුණාම අල්ලස් කොමිසම ස්වාධීනයි කියලා කිව්වා. නමුත් අපි ආණ්ඩුවේ ඇමැතිවරු 10 දෙනෙකුට පැමිණිලි කළා. එයට වසර දෙකයි මාස දෙකක් වෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මුලසුනට පැමිණියේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා - ආණ්ඩු බලය ලබාගන්නකොට දූෂණයට විරුද්ධව කතා කරනවා. දැන් අපෙනුත් අහනවා සමහරු ඔබතුමාලත් පාර්ලිමේන්තු ඇවිත් වසර 4 ක් වෙනවා. නමුත් ආණ්ඩුව අල්ලපු හොරෙක් නැහැ කියලා. ජනාධිපතිතුමාත් කිව්වා කොමිසමේ සාක්ෂිවලින් නඩු දාන්න පනත සංශෝධනය කර නැහැ කියා. අද මේ සිදුවන්නේ පනත සංශෝධනයයි. ඉදිරියේදී අල්ලස් කොමසාරිස්වරයාට හැකියාව තිබෙනවා පරීක්ෂණ කොමිසමේ සාක්ෂි මත නඩු කටයුතු කිරීමට. අද එදාට වඩා විනිවිදභාවයක් තිබෙනවා. අද සමාජයේ විනිවිදභාවය නිසා සියලු දේ සන්නිවේදනය වෙනවා. ඒ නිසා අල්ලස් දූෂණ අවම කිරීමට මේ පනත සංශෝධන වැදගත් වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මුලසුනට පැමිණියේය.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - ‍අද ඉදිරිපත් කරන සංශෝධනය අදාළ වන්නේ අදින් පසුවද නැතිනම් පසුවට බලපාන ආකාරයටද කියා සභාව දැනුම්වත් කරන්න. අද මේ සංශෝධනවලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇත්තටම බාධාවක් තිබෙනවද? නැත්නම් උවමනාවක් නැතිකමද? එහෙමත් නැතිනම් ඉහළ අත්වලින් වළක්වන නිසාද කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද අපි අල්ලස් කොමිසමේ හිටපු සභාපතිවරයකුට එරෙහිව පැමිණිලි කළා. නමුත් විමර්ශන නෑ.

බැඳුම්කර වංචාව පිළිබඳව අල්ලස් හෝ දුෂණ කොමිසම විමර්ශන කළා. ගත්ත ක්‍රියාමාර්ග නෑ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය ඉවත් කළා. එහෙම වුණේ ඇයි? එය අදටත් විවාදයට ලක්වූ කරුණක්.

මේ සංශෝධන කෙරෙහි ජනතා විශ්වාසය ඇතිවීමට නම් කොමිෂන් සභා අවසන් වාර්තා පිළිබඳව තීන්දුවක් ගත යුතුයි.

වත්මන් ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභා වාර්තාව අනුව හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් අයි. ටී. එන්. මූල්‍ය වංචාවට වගකිව යුතුයි. එම නිසා මේ සංශෝධනවලට මේ වාර්තාත් අදාළ විය යුතුයි . ඇවන්ගාඩ් සිද්ධියත් මීට ඇතුළත් මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයාගේ නමත් මේ කොමිසන් වාර්තාවේ තියෙනවා.

මහනුවර දිස්ත්‍රික්ක මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා (එ.ජ.නි.ස) - ඔය වාර්තාවේ තිබෙන කාරණාවට මට නඩු දැම්මා. මම අභියාචනා කරලා නිදහස් වුණා. මට චෝදනා නෑ. ඔය වාර්තාවේ තිබෙන දේ වැඩක් නෑ.

සුනිල් හඳුන්නෙත්ති මහතා - අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේ ඉන්න හින්දා එය පැහැදිලි කළා. එතුමාට මේ වාර්තාවෙන් නිදහස් වෙන්න හරි මේකට අල්ලස් කොමිසම ක්‍රියාමාර්ග ගත යුතුයි. එකයි අපි කියන්නේ මේ වාර්තාත් මේ සංශෝධනයට ඇතුළත් විය යුතුයි කියලා.

වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන නි. ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - බැඳුම්කර කොමිෂන් වාර්තාව හා බරපතළ වංචා විමර්ශන කොමිෂන් වාර්තා කියලා විශාල වාර්තා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. මේවායේ නොතීසි ලත් පාර්ශ්වය කවුද? දේශපාලන පරිපාලන හා ජනමාධ්‍ය යන ප්‍රබල අය මෙහි චුදිතයන් ලෙස ඉන්නවා. හිටපු ජනාධිපතිවරු ඉන්නවා. අයි. ටී. එන්. මූල්‍ය වංචාව, මැරයින් වංචාව, හම්බන්තොට වතුර පිරවීමේ මංගල්‍ය වංචාව යන විශාල වංචා මේ කොමිෂන් වාර්තාවල ඇතුළත් වෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස) - මෙය ඉතා වැදගත්. අපරාධකරුවන්ට, වැරදිකරුවන්ට වංචාකරුවන්ට වැඩි කාලයක් නොගෙන නඩු පවරන්න අල්ලස් කොමිසමට අවස්ථාව ලබාදීමට කටයුතු සලසන මේ සංශෝධනයට අපි විපක්ෂයක් ලෙස සහාය දෙනවා. මේ රටේ වූ බරපතළම වංචාවේ වගකිවයුතු පුද්ගලයින් රටට ගෙන ඒමට නොහැකිවෙලා තියෙනවා. මෙහිදී අධිකරණ ඇමැතිවරියට විශාල කාර්යභාරයක් තියෙනවා.

රජයේ ආදායම වැඩිකර ගැනීමට මේ රටට ගෙන්වන දේට බදු පැනවිය යුතුයි. රේගුවේ නිවැරදිව කටයුතු කරන අයට නිසි පරිදි කටයුතු කරන්න ඉඩ සැලසිය යුතුයි. උඳුවලට රුපියල් 150ක බදු නියම කරනවා. නමුත් උඳු ගේන්නේ පරිප්පු ආනයනය කරන බද්දෙන් ගම්මිරිස් ගේන්න බෑ. නමුත් රේගුවෙන් එළියට එනවා. මේ සිදුරු වසා දැමිය යුතුයි. වංචා, දූෂණය, නාස්තිය අවම කළ යුතුයි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ජයමහ මහතා (එජාප) - 2015 ට කලින් මේ රට දූෂණයෙන් වෙළී තිබුණා. වංචා දූෂණ එළිපිට කළා. ඒ නිසා මේ රජය පත්කරගත් අයට ස්තූති කළ යුතුයි. 2015 ට පස්සෙත් දූෂණ වුණා. ඒවා නෑ කියන්නේ නෑ. එහෙත් රජයේ අය මැදිහත්වෙලා නෑ. වංචාවට සම්බන්ධ අය අනාවරණය කරන්න කටයුතු කළා. අර්ජුන මහේන්ද්‍රන් අපි හංගගෙන නෑ. උදයංග වීරතුංග අල්ලන්න යන ප්‍රමාදයම තමයි අර්ජුන අල්ලන්න තියෙන්නේ. හැබැයි මල්වානේ ඉඩමක් තියෙනවා හදපු බාස් කෙනෙක්වත් නෑ. ඩෙසි ආච්චිගේ මැණික් මල්ල තියෙනවා.

අපි සිදුවූ වංචාවේ පාඩුව පියවගන්න මුදල් රඳවාගෙන තියෙනවා. ඒ නිසා තමයි අපි මේ නීති සම්පාදනය කරන්නේ. අපි කවුරුවත් ආරක්ෂා කරන්නේ නෑ.

අද ව්‍යවස්ථාවක්, කෙටුම්පතක් නැතිව බොරු බිල්ලෙක් මවනවා. ව්‍යවස්ථාවේ ගෞරවය සියල්ලටම ලබාගන්න නම් සියලු දෙනා එකතුවිය යුතුයි. අපි මේ අවුරුද්දේ ව්‍යවස්ථාව සම්මත නොකළොත් 2078 දීත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව මේ රටේ ක්‍රියාත්මක වෙයි. මේක තමයි අවසාන අවස්ථාව.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස) - මහ බැංකු මංකොල්ලය සිදුවෙලා අවුරුදු හතරක්. මේ කුමන පනතක් නැතිවුවත් නඩු පවරන්න පුළුවන් නීතිය රටේ තියෙනවා. අපේ මන්ත්‍රීවරු 10ක් පැමිණිලි කළා. ගත්තු ක්‍රියාමාර්ගයක් නෑ.

අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ සේවා කොමිසමේ සිදුවූ අසාධාරණය මොකක්ද මන්ත්‍රීතුමා?

ජානක වක්කුඹුර මහතා - ඊවා වනසුන්දර මහත්මියට නිසි තැන දුන්නේ නෑ.

තලතා අතුකෝරල මහත්මිය - ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස 2019 ජනවාරි 05 දින විශ්‍රාම යනකම් අධිකරණ සේවා කොමිසමේ සාමාජිකාවක්.

ජානක වක්කුඹුර මහතා‍ - එතුමියට අගවිනිසුරු තනතුර දුන්නේ නෑ.

අධිකරණ ඇමැතිනි - ඔබතුමා තොරතුරු නොදැනයි කතාකරන්නේ. අගවිනිසුරු පත්කරන්නේ ජනාධිපතිතුමා.

ජානක වක්කුඹුර මහතා - රටේ ප්‍රශ්නවලට උත්තර නොදි ආණ්ඩුව ව්‍යවස්ථාවක් පිටුපස යනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) - දැනට ජීවිතාන්ත සිරදඬුවම් දෙන දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න කියලා මහජන අත්සන් ලේඛනයක් සකස් කරනවා කියලා රාවයක් තියෙනවා. එහෙම ජනාධිපති සමාව දුන්නොත් එවගේ දඬුවම් විඳින අනෙක් සිරකරුවන්ටත් සමාව දෙන්න කිව්වොත් මොකද වෙන්නේ? මෙය මගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි.

අධිකරණ ඇමැතිවරියට හොඳ කොන්දක් තියෙනවා. පොදු සමාවක් දෙන්න එතුමියගේ අනුමැතිය. නීතිපතිගේ හා තීන්දුව දුන් විනිසුරුතුමාගේ අනුමැතිය අවශ්‍යයි . ඒ නිසා හොඳ තීන්දුවක් ලැබෙයි කියලා හිතනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර (එජනිස) - සමාජ සංවර්ධනයට බාධා කරන ප්‍රධාන සතුරා අල්ලස හා දූෂණයයි. අල්ලස දූෂණයට දඬුවම ලෝක ප්‍රකට දඬුවම විදුලි පුටුව අපි ඒ තරමට යන්න ඕනැ නෑ. අල්ලස් දුෂණ කොමිෂමට හසු නොවන අල්ලස් දූෂණ තියෙනවා. දේශපාලන අල්ලස, ලිංගික අල්ලස , මානසික අල්ලස යටත් වෙන්නේ නෑ. මේ විකෘතිය වෙනස් කරන්න විධිමත් ක්‍රියාමාර්ග ගතයුතුයි. අපි නිර්මාණය කරන කොමිෂන් සභා පටු දේශපාලන අරමුණුවලින් තොර විය යුතුයි.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - මන්ත්‍රීවරුන් 55 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂමට ඉදිරිපත් කළ පැමිණිලි පදනමක් නෑ කියලා අල්ලස් කොමිෂම විමර්ශනය කර ඉවත දමා තිබෙනවා කියලා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එදා විපක්ෂය ටොප්ටෙන් කියලා මටත් චෝදනා කළා. එහි පදනමක් නැති නිසා ඉවත දැම්මා.

වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩිවෙල් සුරේෂ් මහතා - අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදයට නායකත්වය දුන් පුද්ගලයෙක් ලෙස මුළු ලෝකයම පසුගිය දින අගය කරනවා අපි දැක්කා. කතානායක කරු ජයසූරිය මහතාද ඊට සහාය ලබාදුන්නා.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එජනිස) - අද රටේ සෑම සමාජ තලයකම අල්ලස දූෂණය ව්‍යාප්ත වෙලා. ලොකු කුඩා සෑම අංශයකම මෙය දක්නට ලැබෙනවා. හොඳ දක්ෂ නිවැරදි ලෙස කටයුතු කරන නිලධාරීන් ඉන්නවා. පාසලකට දරුවෙක් දාන්නත් අල්ලස් දෙන්න සිදුවෙනවා. ඒ නිසා මෙම ක්‍රමවේදය නිවැරදි කළ යුතුයි.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා (එජාප) - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ජනාධිපතිවරයා යටතේ පැවැති ආයතනයක්. මෙම ආයතනය සම්බන්ධයෙන් අපට චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ.

රජය කරන හොඳ දේවල් මාධ්‍ය විසින් වාර්තා කරන්නෙ නැහැ. අද ඉදිරිපත් කරන මේ පනත ගැන මාධ්‍ය හෙට මොනවද වාර්තා කරන්නෙ කියල බලන්න. මාධ්‍යයත් අද කටයුතු කරන්නේ පසුගිය අයට ඕන විදියට. නිල්වලා ව්‍යාපෘතිය සඳහා කෝටි 420ක මුදල් ජනාධිපතිවරණයට පෙර දිනයේ ලබාගෙන තිබෙනවා. එයින් එක් පස් පිඩැල්ලක් කපා නැහැ. මීට පෙර ජනාධිපතිවරයාත් මේ ගැන කතා කළා. දූෂණය වැළැක්වීමට අපි හැමදාමත් සහයෝගය ලබාදෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා (එජාප) - අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ සෑම අභියෝගයකදීම සෘජුව මුහුණ දුන්නා. අධිකරණය හෝ කොමිෂන් සභා ඕනම තැනකට ගිහිල්ලා ඉදිරිපත් වී තිබෙනවා.

නමුත් ඇතැම් අය ජනතාව ඉදිරියට ගිහිල්ල කියන්නෙ වෙන දෙයක්. අධිකරණයට ගිහිල්ල කියන්නේ තව දෙයක්. දූෂණයට වංචාවට සම්බන්ධ අයව ඇතැමුන් පිළිගන්නෙ මල්මාලා දාලා . රටේ පොදු ජනයා වෙනුවෙන් වෙන්කරන ප්‍රතිපාදන ජනයා වෙනුවෙන්ම යෙදවිය යුතුය. අපි කිසිම වෙලාවක දේශපාලන හේතූන් මත දුප්පත් ජනතාවගේ සහන කප්පාදු කරල නැහැ. එවැනි දේශපාලන සදාචාරයක් ආරක්ෂා කරගැනීමට එජාපය ලෙස අපට හැකි වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.

පත්කළ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා (එජාප) - අලුතෙන් පත්කරන ලද ජනාධිපති කොමිෂම ගැන ජනතාව අවධානයෙන් ඉන්නෙ. පාර්ලිමේන්තුව වටේ හවසට හවසට ගැවසුණු අගවිනිසුරුවරයෙක් හා එතුමා සමඟ සිටි නීතිඥවරියක් තමයි මේ අලුත් ජනාධිපති කොමිෂමට උපදෙස් දෙන්නෙ 2019 මැතිවරණ වසරක් නිසා තෝරාගත් පිරිසකට මඩ ගැසීම සඳහායි මේ අලුත් කොමිෂම ක්‍රියාමක වෙන්නෙ. ඒ නිසා මේ කොමිෂම ගැන අපටත් ගැටලුවක් තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා (එජාප) - කොමිෂන් සභා වාර්තාවල තොරතුරු සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කිරීමේ හෝ අඩක් ප්‍රකාශ කිරීමේ බලය තිබෙනවා. ඇතැම් අය බටලන්ද කොමිෂම ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට චෝදනා එල්ල කරනවා. නමුත් බටලන්ද කොමිෂම හරහා අගමැතිවරයාට චෝදනා එල්ල කරන්න කාටවත් බැහැ. 2019 මැතිවරණ වසරේදී අපගේ අයගෙන් තෝරාගත් අය ඉලක්ක කරගෙන මඩ ගැසීමේ ව්‍යාපාරයක් ගෙන යාමට අපි ඉඩ තබන්නේ නැහැ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.

අධිකරණ ඇමැති තලතා අතුකෝරල මහත්මිය - ඔක්තෝබර් මාසයේ දේශපාලන අර්බුදයක් ඇතිවුණු නිසා මේ සංශෝධන ගෙන ඒමට ටිකක් ප්‍රමාද වුණා. 1948 ඉඳල පරීක්ෂණ කොමිසන් සභා පවත්වාගෙන ගොස් තිබෙනවා. 2008 දී මේ පනතට සංශෝධන ගෙනවිත් තිබෙනවා. කොමිසන් සභා වාර්තා හැමදාමත් වුණේ පැත්තකට වෙනවා. ඒ කොමිසන් සභා වාර්තා නීතිය යටතට ගෙන ඒමට 2008 දී සංශෝධන වුණා. නීතිපතිතුමාට නඩු පැවරීමට බලය ආවා. වත්කම්, බැරකම් පනතට මේ කොමිසන් සභාවට බලය එදා ලැබුණෙ නැහැ. ඒනිසා වත්කම් හා බැරකම් පනත යටතේ නඩු පැවරීමට මෙමගින් හැකිවෙනවා. කොමිසන් සභා වාර්තාවේ සාක්ෂිත් නඩු කටයුත්තට ලබාගත හැකියි.

සමහරු කිව්වා මෙය ප්‍රමාද වුණේ, ප්‍රමාද කළේ අපියි කියලා ඔක්තෝබර් මාසේ දේශපාලන අර්බුදය ඇති නොවුණ නම් අපි ඔක්තෝබර් මාසයේ මෙය සම්මත කරනවා. අල්ලස් හා දූෂණ කොමිසන් සභාවේ කාර්යක්ෂමතාව නිසා ජනාධිපති කාර්ය මණ්ඩල‍ෙය් ප්‍රධානියාව පවා අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. මේ පනත සංශෝධනවලට පසුව දැනට පරීක්ෂණ කොමිසන් සභාවන් ලබා දුන් නිර්දේශවලටත් අදාළ වෙනවා. මාධ්‍ය සංදර්ශන කරන්න අපි බය නැහැ. අපි වෙනුවෙන් පැමිණිල්ලක් දැම්මත් ඒවා විභාග කරනවා. පරීක්ෂණ කොමිසන් සභා වාර්තා සාක්ෂි හැටියෙන් ලබා ගන්න වුණත් පුළුවන්. අධිකරණය සම්බන්ධයෙන් තවමත් කතා කියනවා. ඒකාලේ වගේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට තෑගි දෙන්න අය අද නැහැ. වෙනම හිතවත්කම් පවත්වන දේශපාලනඥයින් අද නැහැ. රාජ්‍ය සේවයෙන් පළිගැනීම් අපේ රජය යටතේ සිදුවෙන්නේ නැහැ. ඔක්තෝබර් සිදුවීම මඟින් රටේ ඉදිරියේදි සිදුවිය හැකි දේවල් ජනතාව දැන් දැනගෙන ඉන්නේ. එකම කට්ටියක් රජවෙන උවමනාවෙන් කටයුතු කරන්නෙ නැහැ.

පනත සංශෝධන සහිත සම්මත විය.

පාර්ලිමේන්තුව අද (23) ප.ව. 1.00ට රැස්වේ.


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි කටයුතු ඊයේ (22දා) ආරම්භ කළේය. මෙම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අඵත්ගමගේ, අනන්ද අඵත්ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න