ශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව ලකුණු 162ක් පසුපසින් | දිනමිණ

ශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව ලකුණු 162ක් පසුපසින්

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම 323යි 

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දෙවැනි දිනය නිමාවනවිට කඩුල්ලක් දැවී ලකුණු 17ක් රැස්කර ගෙන සිටියේය. ක්‍රීඩාව නතර කරනවිට ළහිරු තිරිමාන්න නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 6කි.

ඊයේ දිනය නිමාවීමට ඕවර 10ක් පමණ තිබියදී ඔස්ට්‍රේලියානුවෝ පළමු ඉනිමේදී ලකුණු 323කට දැවී ගියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 179ක් ඉදිරියෙන් සිටිමිනි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම ලකුණු 144කට සීමාවූ අතර ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 162ක් පසුපසින් ශ්‍රී ලංකාව පසුවන්නේ කඩුලු 9ක් අතැතිවය.

පැට් කමින්ස් යැවූ දිනයේ අවසන් පන්දුවෙන් ටිම් පේන් උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලකුණු 3ක් ලබාසිටි දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

ලකුණු 10ක් තුළ කඩුලු 2ක් බිඳ දමමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඊයේ දිනයේ මුලදීම ඔස්ට්‍රේලියාවට පීඩනයක් එල්ල කිරීමට සමත් වුවත් මාර්නස් ලබුස්චේග්නි සමග එක්වූ ට්‍රේවිස් හෙඩ් ලකුණු 166ක සබඳතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා ඉනිම අබිබවා ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉදිරියට ගෙන ගියේය. මුළු ලකුණු 248දී එම සබඳතාව නිමාවට පත්කිරීමට ධනංජය ද සිල්වා සමත්වූයේ ලකුණු 81ක් ලබාසිටි ලබුස්චේග්නි දවා ගැනීමෙනි. පන්දු 150කට මුහුණදුන් ඔහු හතරේ පහර 3ක් එල්ල කර තිබිණි.

ලකුණු 272ක් වෙද්දී ඉනිමේ සාර්ථකම පිතිකරු වූ හෙඩ් සමගින් නායක ටිම් පේන් ද පිට පිට පන්දු 2ක් තුළ පිටියේ ඉවත් කිරීමට සුරංග ලක්මාල්ට හැකිවිය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ හෙට් පන්දු 187කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 84ක් රැස්කළ අතර පේන් මුහුණ දුන්නේ එක් පන්දුවකට පමණි.

පැට් කමින්ස්, දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලකුණු ලබා ගැනීමට පෙර 8 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ලකුණු 30ක් ලබාසිටි කර්ටිස් පැටර්සන් මුළු ලකුණු 304දී 9 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලක්මාල්ට 5 වැනි කඩුල්ල හිමිකර දෙමිනි. ඩිල්රුවන් පෙරෙරාගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමෙන් ජායි රිචඩ්සන් (1) දැවී යෑමත් සමග ඔස්ට්‍රේලියානු පළමු ඉනිම නිමාවට පත්විය.නිමාවනවිට මිචෙල් ස්ටාක් පන්දු 25කින් නොදැවී ලකුණු 26ක් රැස්කර තිබිණි.

ඊයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 44ක් ලබාසිටි මාකස් හැරිස් දැවී ගියේ ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ළහිරු තිරිමාන්න උඩ පන්දුවක් රැක ගැනීමෙනි. තවත් ලකුණු 6ක් එක්වෙද්දි තරගයේ පළමු දිනයේ සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි නේදන් ලියොන් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල්ට හැකිවිය. ඔහු දැවී ගියේ කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

අද තරගයේ තෙවැනි දිනයයි.

 

නව අදහස දක්වන්න