ජීව අත්බෝම්බයක් සමඟ කොල්ලකරුවෙකු අත්අඩංගුවට | දිනමිණ

ජීව අත්බෝම්බයක් සමඟ කොල්ලකරුවෙකු අත්අඩංගුවට

කුරුණෑගල දී මුදල් කොල්ලයකට පැමිණි සැකකරුවෙකු ජීව අත්බෝම්බයක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
කුරුණෑගල, බෞද්ධාලෝක මාවත, රාජ්‍ය බැංකුවක් අසල දී ඊයේ(05) දහවල් පුද්ගලික සමාගමක සේවකයෙකු රාජ්‍ය බැංකුවකින් චෙක්පතක් මාරු කර රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන එම මුදල වෙනත් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට යෑමේ දී මෙම මංකොල්ලය සිදුව ඇත.
 
එම අවස්ථාවේ දී පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මුදල් රැගෙන ගිය සේවකයාට පහර දී එම මුදල් පැහැර ගෙන ඇති අතර පසුව සේවකයා කොල්ලකරුවන්ට පහර දී එම මුදල නැවත ඔහු බාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
මෙම සිද්ධිය කුරුණෑගල පොලිස් ස්ථානයට වාර්තා වු පසු වහා ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව කොල්ලකෑමට පැමිණි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම සැකකරුව පරීක්ෂා කිරීමේ දී ඇඳ සිටි කලිසමේ සාක්කුවේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
 
අදාළ සැකකරු වයස අවුරුදු 43 ක් වු තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
සැකකරු අද(06) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ‍කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
 
 
 

නව අදහස දක්වන්න