නිශාන් මධුෂ්ක ලකුණු 1000යි | දිනමිණ

නිශාන් මධුෂ්ක ලකුණු 1000යි

මොරටු විදුහලේ ක්‍රිකට් නායක ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩක නිශාන් මධුෂ්ක මෙවර පාසල් තරග වාරයේ ලකුණු 1000 ඉක්මවීමට සමත් විය. මොරටු විදුහල තරග 12 කට සහභාගි වූ අතර එයින් තරග දෙකකට පමණක් සහභාගි වීමට මධුෂ්කට නොහැකි වූයේ වයස අවුරුදු 19 න් පහළ පළාත් තරග හේතුවෙනි.

පසුගියදා පැවති සාන්ත ඇලෝසියස් විදුහල සමග තරගයේ පළමු ඉනිමේදී ලකුණු 18ක් රැස් කිරීමත් සමග මධුෂ්ක ලකුණු 1000 සීමාවට පිවිසියේය. එම තරගයේදී ඔහු ඉනිම දෙකේදී ලකුණු 41ක් සහ 38ක් රැස්කළ අතර මේ වනවිට තරග 11කදී ශතක 5ක් සහ අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 1061ක් රැස් කිරීමට ඔහු සමත්ව සිටින්නේ 75.7ක සාමාන්‍යයක් රදවා ගනිමිනි.

පසුගිය වසරේදී ද මධුෂ්ක ලකුණු 1000 ඉක්මවූ අතර තම පාසල වෙනුවෙන් ලකුණු 1000 දෙවරක් වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා බවට ඔහු පත්විය. ඔහුට පෙර සංඛ රමේශ් එම දස්කම පෙන්වා තිබිණි.

ඊට අමතරව වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මධුෂ්ක බංගලාදේශය, ඉන්දියාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග කර ඇති අතර මීට පෙර එම පාසලේ ලකී රොජර්ස් එක් වරවක් පමණක් නියෝජනය කර ඇත. ඔහුගේ පුහුණුකරු ලෙස මොරටු විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩක ප්‍රසන්න දිසානායක කටයුතු කරන අතර විදුහල්පති හේමසිරි ආතාවුදගේ සහ ක්‍රීඩා භාර ආචාර්ය රසික චමින්ද මහත්වරුන්ගේද මඟ පෙන්වීමත් ඔහුට නොඅඩුව ලැබේ. අවසාන වරට මොරටු විදුහල ගාල්ල ඇලෝෂියස් විදුහල පළමු ඉනිමේ ලකුණු 10 කින් පරාජය කිරීමට සමත්විය.

මොරටු විදුහල් පළමු ඉනිම - 173. නිශාන් මදුෂ්ක 41, විශ්ව දිදුලන 29 (නිදුක් අභිෂේක් 38/4, ආදිත්‍ය යාපා 47/3) සහ දෙවැනි ඉනිම - 128/4. නිශාන් මධුෂ්ක 39, චමල්ක පුෂ්පකුමාර 33 (ආදිත්‍ය යාපා 18/3)

සාන්ත ඇලෝසියස් පළමු ඉනිම - 162. චතුර ප්‍රභාත් නොදැවී 48, මනූෂ සම්පත් 25 (විශ්ව දිදුලන 45/4, එරංග හංසමාල් 42/3)

ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා

නව අදහස දක්වන්න