ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෝ දකුණු අප්‍රිකානු පිල මෙල්ල කරති | දිනමිණ

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෝ දකුණු අප්‍රිකානු පිල මෙල්ල කරති

ඩර්බන් නුවර කිංස්මීඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරවය අත්කරගත් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නෝ දකුණු අප්‍රිකානු පළමු ඉනිම 235කට සීමා කළහ.

සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල ඊයේ දිනයට ක්‍රීඩාව නතර කරනවිට කඩුල්ලක් දැවී ලකුණු 49ක් රැස් කර තිබිණි. ඒ අනුව කඩුලු 9ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 186ක් පසුපසින් සිටී.

දිනය නිමාවනවිට නායක දිමුත් කරුණාරත්න ලකුණු 28ක් සහ සිය මංගල ටෙස්ට් තරගයට එක්වූ ඕෂද ප්‍රනාන්දු ලකුණු 17ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටිති.

ඩේල් ස්ටේන්ගේ පන්දුවක් හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න දැවී ගියේ ලකුණු ලබාගැනීමට පෙරය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් නායක දිමුත් කරුණාරත්නගේ බලාපොරොත්තු ඉහළින්ම ඉටු කළ විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගනිද්දී කසුන් රාජිත කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 17ක් තුළ මුල්පෙළ පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන් සමත්වෙද්දී දකුණු අප්‍රිකානු ඉනිම ඉහළට ඔසවා තැබීමට දැඩි උත්සාහයක නිරතවූ ටෙම්බා බවුමා සහ නායක ෆෆ් ඩු ප්ලෙසි සිවුවැනි කඩුල්ලට ලකුණු 72ක් රැස් කිරීමට සමත්වූහ. එහෙත් කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ඩු ප්ලෙසි කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය. ඒ සමග දිවා ආහාරය සඳහා තරගය නතර කෙරිණි.

දකුණු අප්‍රිකානු ඉනිම පීඩනයකට හසු කිරීමට සමත්වූ විශ්ව ප්‍රනාන්දු ඔහුගේ පළමු ඕවරයේදීම (තරගයේ දෙවැනි ඕවරයේ) ඩීන් එල්ගා ලකුණු ලබාගැනීමට පෙර දවාගනු ලැබූ අතර ඒ වනවිට දකුණු අප්‍රිකානු ඉනිමට ද කිසිදු ලකුණක් එක්වී නොතිබිණි.

ඊයේ තරගයේ විශේෂිතම සිදුවීම බවට පත්වූයේ එම ඕවරයේ අවසන් පන්දුවේදී හෂිම් අම්ලා කඩුල්ල මුවා කළ බවට කළ ඉල්ලීමට තත්පර 15කට වැඩි කාලයක් ගත කිරීම නිසා විනිසුරු අලීම් ඩාර් එම ඉල්ලීම පිළිනොගැනීමය. නීතියට අනුව රූපවාහිනි විනිසුරුගේ පිහිට පැතීම සිදුකළ යුතුවන්නේ තත්පර 15ක් ඇතුළතදීය. එහෙත් තම ක්‍රීඩකයන් සමග සාකච්ඡා කිරීමට වැඩි කාලයක් ගත කළ දිමුත් කරුණාරත්න ඉන් පසුව එම ඉල්ලීම සිදුකරද්දි තත්පර 15 පසුවී තිබිණි.

අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 9ක්ව තිබියදී අම්ලා දැවී ගියේ සුරංග ලක්මාල්ගේ පන්දුවකටය. ඉන් පසුව මුළු ලකුණු සංඛ්‍යාව 17දී දකුණු අප්‍රිකානු පිලේ තුන්වැනි කඩුල්ලත් දවාගත් විශ්ව ප්‍රනාන්දු ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය.

බවුමා සමග එක්වූ නායක ඩු ප්ලෙසි අනගි සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිම පිළිසකර කිරීමට පටන් ගත් අතර මුළු ලකුණු සංඛ්‍යාව 89 දක්වා ඉහළ දැමුවේය. කසුන් රාජිත යැවූ දිවා ආහාරයට පෙර අවසන් ඕවරයේ දෙවැනි පන්දුවෙන් ඩුප්ලෙසි දැවී ගියේ රූපවාහිනි විනිසුරුගේ තීරණයෙනි. ඔහු දික්වැල්ල වෙත ලබාදුන් උඩපන්දුව රැකගත් බවට කළ ඉල්ලීම විනිසුරු ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව රූපවාහිනි විනිසුරු තීරණය ඉල්ලා සිටීමට දිමුත් කරුණාරත්න වහාම පියවර ගත්තේ ඊට පෙර අවස්ථාව අහිමි කරගැනීමේ වරද නැවත නොකරමිනි.

නායකයාගේ දැවී යාමෙන් අනතුරුව ඉනිමේ බර කරට ගත් කඩුලු රකින ක්‍රීඩක කුවින්ටන් ඩි කොක් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යනතෙක් පිටියේ රැදෙමින් ලකුණු 80ක් රැස් කළේය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඔහු, මිනිත්තු 174ක් තුළදී පන්දු 94කට මුහුණ දුන්නේ හතරේ පහර 8ක් සහ හයේ පහර එල්ල කරමිනි.

දිවා විවේකයෙන් පසු ඕවර 5ක් ගතවෙද්දී පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 47ක් ලබාසිටි බවුමා දුවද්දී දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දුට හැකිවිය. බවුමා සහ වර්නන් ෆිලෙන්ඩර් (4) සමග ලකුණු 21ක බැගින් සබඳතා ගොඩනැගූ ඩි කොක්, 7 වැනි කඩුල්ලට කේෂව් මහරාජ් සමගින් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 178 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 47ක් එක් කරමිනි. පන්දු යැවූ කසුන් රාජිත ම උඩ පන්දුවක් රැක ගැනීමෙන් ෆිලෙන්ඩර් දැවී ගිය අතර විශ්ව ප්‍රනාන්දුගේ තෙවැනි කඩුල්ල ලෙස මහරාජ් ලකුණු 29කට දැවී ගියේ නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙනි. තවත් ලකුණු 8ක් එක්වෙද්දී ඕෂද ප්‍රනාන්දුගේ උඩ පන්දු රැකීම හමුවේ විශ්ව ප්‍රනාන්දු සිවුවැනි කඩුල්ල ලෙස කගීසෝ රබාඩා දවාගත්තේය. ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් ලසිත් ඇඹුල්දෙණියට මංගල ටෙස්ට් කඩුල්ල අත්කර දෙමින් ඩේල් ස්ටේන් දැවී ගියේ මුළු ලකුණු 129දීය. පන්දු කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යනවිට ලකුණු 15ක් රැස්කර තිබිණි.

අද තරගයේ දෙවැනි දිනයයි.

images- espncricinfo

නව අදහස දක්වන්න