දේශපාලන හැල හැප්පිලි ඡන්දයට පමණක් සීමා කළොත් රට ගොඩනඟන්න පුළුවන් | දිනමිණ

දේශපාලන හැල හැප්පිලි ඡන්දයට පමණක් සීමා කළොත් රට ගොඩනඟන්න පුළුවන්

ඡන්ද කල්දැමීම මෙන්ම වේලාසන තැබීමත් වරදක්
- මැතිවරණ ‍කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

දේශපාලන හැල හැප්පිලි ඡන්දයට පමණක් සීමාකොට, රටේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්වල දී සියලු පාර්ශ්වයන්ට ජාතික එකඟතාවකට ඒමට හැකිනම් මේ රට ගොඩනැඟීම අපහසු නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

කතානායකවරයා ‍මේ බව සදහන් ක‍ළේ ‍කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා‍වේ දී ඊ‍යේ (14දා) පැවැති පැෆරල් සංවිධාන‍යේ 30 වැනි සංවත්සර උ‍ළෙල අමතමිනි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය ‍හෙවත් පැෆරල් සංවිධානය සිය ‍ඵෙතිහාසික ගමන් ම‍ඟේ 30 වැනි සංවත්සරය සම්පූර්ණ කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ කතානායක කරූ ජයසූරිය මහතා, ‍මේ උත්සව අවස්ථාව සඳහා ලැබුණු ආරාධනය මම පිළිගත්තා. අපි ආරම්භක අවස්ථා‍වේ සිට පැෆරල් සංවිධානය සමඟ ඉතා කිට්ටු‍වෙන් කටයුතු කරනවා. මේ රටේ යහපත් සමාජයක් ඇතිකිරීම සඳහා ඒ අය ගත් උත්සාහය අගය කරනවා. ‍මේ ර‍ටේ යහ සමාජයක් ඇති කරන්න ගත් උත්සාහයට අපේ ස්තුතිය පිරිනමනවා. 1987 දී ආරම්භ කළ පැෆරල් සංවිධානය මඟින් අ‍පේ රටට විශාල ‍සේවාවක් ඉටුකර ති‍බෙනවා. ඡන්ද දායකයා‍ගේ අයිතිය ලබාගැනීම වෙනුවෙන් නිසි වේලාවට මැතිවරණයක් පැවැත්වීම, ඡන්ද අයිතිය ආරක්ෂා කරන්න කටයුතු කර ති‍බෙනවා. විවිධ අවස්ථාවල ‍දේශපාලන ‍හේතුන් මත විවිධ අවස්ථාවල මැතිවරණ කටයුතුවලට බාධා වී ති‍බෙනවා. ඒ අවස්ථාවල පැෆරල් සංවිධානය සෘජුව මැදිහත් වී ක්‍රියාකර ති‍බෙනවා. 1998 වයඹ මැතිවරණය ‍මේ ර‍ටේ මැතිවරණ ඉතිහාසයට කළු ලපයක් එක්කළ එකක්.

නිසි කළ මැතිවරණ පැවැත්වීම ඉතාම අත්‍යවශ්‍ය ‍‍දෙයක්. අපි බලාපොරොත්තු වෙනවා නියම කාලයට මැතිවරණ පැවැත්වීම සඳහා විශාල හඩක් නැඟී ති‍බෙනවා. මැතිවරණ පැවැත්වුණාට පමණක් මදි. ඒ මැතිවරණ නිදහස් සාධාරණ ‍ලෙස පැවැත්විය යුතුයි. පසුගිය මැතිවරණ කිහිපයක්ම මේ රටේ ඉතාම සාධාරණ ලෙස පැවැත්වූ බව අපි පිළිගන්නවා. අපි ඒ ගැන සතුටු ‍වෙනවා. පසුගිය මැතිවරණ නිදහස් හා සාධාරණ ‍ලෙස පවත්වන්න ඒ සම්බන්ධ නිලධාරීන් විශාල සේවාවක් සිදුකර ති‍බෙනවා. සුළු සුළු සිද්ධීන් ඇතිවුවත් මේවා සාධාරණ ලෙස පවත්වන්න පියවර ගෙන තිබෙනවා. ‍

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා - අ‍පේ ර‍ටේ අනාගතය සුරක්ෂිත කර ගන්න ‍දේශපාලන පක්ෂ ‍භේදයකින් ‍තොරව ප්‍රතිපත්ති මාලාවක් සඳහා එකඟ වියයුතු ‍වෙනවා. අද ‍දේශපාලනය ‍දෙස බලනවිට ර‍ටේ විශාල අවශ්‍යතාවයක් ති‍බෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ‍කෙ‍රෙහි ජනතා විශ්වාසය කඩාවැටීමක් සිදුව ති‍බෙනවා.

මැතිවරණ ‍කොමිසන් සභා‍වේ සභාපති මහින්ද ‍දේශප්‍රිය මහතා - පැෆරල් සංවිධාන‍යේ වැදගත්ම කරුණු අ‍පේ හැඳුනුම්පත් වලංගු කිරී‍මේ නඩුවට මැදිහත්වීම පමණක් කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ. නමුත් ඡන්ද විමසීමක තිබෙන විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ඔවුන් හැමවිටම මැදිහත් වී තිබෙනවා. ඡන්ද විමසීම් කල්යාමට එ‍රෙහිව සහ නියමිත කාලයට ‍පෙර ඡන්දය පැවැත්වීමටත් එරෙහිව මැදිහත් වී ති‍බෙනවා. ‍

මීට ‍පෙර සාකච්ඡාවලට වෙනත් රටවලට ගිය පසු අපිට හිනා ‍වෙනවා නිදහස් හා සාධාරණ මැතිවරණයක් නැහැයි කියලා. පසු කලෙක අපි ගියපසු හිනාවෙනවා නියමිත කාලයට මැතිවරණ තියන්නේ නැහැ කියලා. අපි ඒ ‍වෙලා‍වේ කට වහ‍ගෙන ඉන්නවා. අපි එහිදී ආගමික උත්තරයක් ‍දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධාන‍යේ ති‍බෙන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශන‍යේ 1947 අත්සන් කළ වගන්තියකින් අපි කියනවා රටක පාලන බල‍යේ පදනම වියයුත්තේ ජනතා කැමැත්තයි. ජනතා කැමැත්ත නිදහස්, සාධාරණ සහ නිසි කාලාන්තරයන්ට පැවැත්වෙන මැතිවරණවලින් ප්‍රකාශ වියයුතුයි. නිසි කලට නැතිනම් අ‍පේ ර‍ටේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී කරුණු ගැන කතාකරන ‍දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, ක්‍රියාකාරීන් තමන්ට අවශ්‍ය පරිදි අධිකරණයට යනවා.

පැෆරල් සංවිධාන‍යේ විධායක අධ්‍යක්ෂ ‍රෝහණ හෙට්ටිආරච්චි මහතා - දශක තුනක ඉතිහාසය තුළ ‍මේ ර‍ටේ ප්‍රජාතන්ත්‍රවාදය ‍වෙනු‍වෙන් දායක වී ති‍බෙනවා. ‍මේ ‍වෙනු‍වෙන් දායක වූ සියලු ‍දෙනා පිළිගන්න ලැබීම සම්බන්ධ‍යෙන් සතුටුයි. පැෆරල් සංවිධානය ‍වෙනු‍වෙන් සැමදා සහ‍යෝඟය දක්වන පිරිසක් අද ‍මේ අවස්ථාවට සම්බන්ධ ‍වෙනවා. ‍මේ පිරිස තමන්ගේ ආත්ම තෘප්තිය ප‍සෙකලා ර‍ට ‍වෙනු‍වෙන් ‍සේවය කර ති‍බෙනවා. වසර 30ක් ‍මේ ර‍ටේ ප්‍රජාතන්ත්‍රවාදය ‍වෙනු‍වෙන් දායක වී ති‍බෙනවා. ‍මේ ර‍ටේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් ‍මේ ර‍ටේ පවත්වන්න සාධාරණ සහායක් ලබා‍දෙන්න අපි දායක වුණා. නමුත් අද අපිට ඉදිරි කාලය තුළ අ‍පේ කාර්යය ‍වෙනස් කරන්න සිදුව ති‍බෙනවා. වසර 30 ට ‍පෙර හඩනඟපු අ‍පේ නායකයින්ට ඉදිරි දශක‍යේ දී ‍මේ ර‍ටේ ‍දේශපාලන සංස්කෘතිය ‍වෙනස් කරන්න මාර්තු 12 ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කරනවා.

ලංකා සර්වෝදය ව්‍යාපාර‍යේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා - ඒ කාල‍යේ අපි පැළකළ බීජයක් අද විශාල ගසක් බවට පත්‍‍වෙලා. පැෆරල් සංවිධානය ආරම්භ කළ අරමුණ අද ඉටු‍වෙලා. ඡන්ද තියනවා. ඡන්දයට ‍පෙරත් එයින් පසුවත් අපි සිතන්න ඕන. මාර්තු 12 ව්‍යාපාරය පටන් ගත්තේ ඒ නිසයි. පැෆරල් සංවිධානය නව නිර්මාණ රැසක් කරන්න ති‍බෙනවා. අපි දැන් සිවුවැනි කාර්මික විප්ලවයට පැමිණ ති‍බෙනවා. එවැනි යුගයකට අපි ඇතුළත් වුණත් ලංකාව ගැන කතා කරන විට සතුටු ‍වෙන්න බැහැ. අපි වුවමනා‍වෙන්ම පිරිහීමට යන ජාතියක්. ආත්මාර්ථකාමීව ‍කෙටි දුරක් බලා වැඩකරන ජාතියක් බවට පත්වුණා. එයින් මි‍දෙන්න ඕන. පාර්ලි‍‍මේන්තුව වැනි තැනක වැඩ පටන් ගන්න ‍පෙර යමක් උගන්වන්න පුළුවන් නම් එය ඉතා වටිනවා. පක්ෂග්‍රාහී ‍දෙයකට මම ඉඩ‍දෙන්නේ නැහැ. සියලු ‍දෙනා‍ගේම යහපත ‍වෙනු‍වෙන් අදහස් දරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට කළ දායකත්වය වෙනුවෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට විශේෂ සම්මානයක් මෙහිදී පිරිනැමුණු අතර එම සම්මානය මැතිවරණ ‍කොමිසන් සභා‍වේ සභාපති මහින්ද ‍දේශප්‍රිය මහතා අතින් ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන, සැලසුම් සහ අලෙවි) රසන්ත චන්ද්‍රතිලක මහතා ලබාගන්නා ලදී.

පැෆරල් කෘතිය එළිදැක්වීම, ආචාර්ය ‍ගොඩ්ෆ්‍රි ගුණතිලක භාරකාර අරමුදල ආරම්භ කිරීම, දිස්ත්‍රික් මට්ට‍මේ ක්‍රියාධරයින් හා සම්බන්ධීකාරකයන්ගේ ‍සේවය ඇගයීම, රාජ්‍ය නිලධාරීන් හා වත්මන් පැෆරල් කාර්ය මණ්ඩල‍යේ ‍සේවය ඇගයීම සහ මාධ්‍ය ආයතන ඇගයීම ද ‍මෙහිදී සිදුවිණි.

ඇමැති ම‍නෝ ග‍නේෂන්, පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් වන දි‍නේෂ් ගුණවර්ධන, ඩලස් අලහ‍පෙරුම, උදය ගම්මන්පිල, තාරක බාලසූරිය, එම්. තිලකරාජ්, ලංකා සම සමාජ පක්ෂ‍යේ මහ‍ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කොමිසන් සභා‍වේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම, මැතිවරණ කොමිස‍මේ සභාපති මහින්ද ‍දේශප්‍රිය, පැෆරල් සංවිධාන‍යේ මහ‍ලේකම් චාමින්ද රාජකරුණා, ලංකා සර්වෝදය ව්‍යාපාර‍යේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න, හිටපු ‍ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය ‍පොලිස්පති ගාමිණී නවරත්න මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ‍මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර සහ තරුෂි ‍බෝ‍පෙආරච්චි
ඡායාරූප - වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න