ග්‍රාම නිලධාරීන්ටත් සේවා ව්‍යවස්ථාවක් ඉල්ලයි | දිනමිණ

ග්‍රාම නිලධාරීන්ටත් සේවා ව්‍යවස්ථාවක් ඉල්ලයි

උදුලා පීරිස්

රජයේ වෙනත් සේවාවල කාර්යාල කාර්ය සහායකගේ සිට ඉහළම සේවකයා දක්වා සේවා ව්‍යවස්ථාවක් හදුන්වාදී ඇතත් බිම් මට්ටමේ සිට සේවය කරන ග්‍රාම නිලධාරීන්ට එවැන්නක් නොමැති බැවින් ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් වහා සේවා ව්‍යවස්ථාවක් හදුන්වා දෙන ලෙස ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමීති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පැවැසීය.

නොඑසේ නම් ලබන 13 දිස්ත්‍රික් 24 තුළ පිහිටි සමස්ත ග්‍රාම නිලධාරී සංගම් එක්ව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි වෘත්තීය අරගලයක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමීති සම්මේලනයේ සභාපති හා කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා (12) බොරැල්ල,එන්.එම්. කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

මේ මැතිවරණ වසරක් නිසා රජය මේ වෙනුවෙන් වහා ක්‍රියාත්මක නොවුනහොත් මැතිවරණ කටයුතු ආරම්භයේ සිටම ඇන හිටිනු ඇත. බොහෝ විට මැතිවරණ කටයුතු සම්පූර්ණයෙන් ඇන හිටීමට අප වෘත්තීය අරගලය හේතුවනු ඇති බැවින් රජයේ අවදානම මේ සඳහා කඩිනමින් යොමු කරමින් බිම් මට්ටමේ සිටින ග්‍රාම නිලධාරීන්ගේ ඉල්ලීම් ඉටු කරන දෙන ලෙසද කොඩිකාර මහතා කීය.

යෝජිත වෘත්තීය අරගලය වෙනුවෙන් රටපුරා පිහිටි ග්‍රාම නිලධාරී සංගම් වලට ආරාධනා කරනවා. ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් නොමැති නිසා අපට විශාල ලෙස වැටුප් විෂමතාවකට මුහුණ පෑමට සිදුව තියෙනවා. එසේම ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගෙන සිටින පිරිස පුරප්පාඩු ඇති ස්ථාන වෙත අන්තර් ග්‍රහණ කටයුතු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තියෙන අතර ග්‍රාම නිලධාරීන්ගේ උසස්වීම් කටයුතුද ඇනහිට තියෙනවා.

මේ මැතිවරණ වසරක් . අදාල ඉල්ලීම් ඉදිරි මැතිවරණයට පෙර ලබාදිය යුතුයි. ජනාධිපතිවරයා සිය ධූරයට පත්වූ විගස මේ සම්බන්ධව සොයා බලන්න කමිටුවක් පත්කළා.නමුත් අද වෙනතුරු එම කමිටුව ක්‍රියාත්මක වීමක් සිදුවී නැහැ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද අපේ රැහේ අයෙකු නිසා එතුමාගේ කාලයේදීවත් අපට සහනයක් නොලැබුවහොත් ආයී අපි වෙනුවෙන් පෙනී සිටීමට කෙනෙක් නොමැති වෙනු ඇත.

මැතිවරණ කටයුතු මෙහෙයවීම, ජන්ද හිමි කටයුතු , ජාතික හැදුනුම්පතේ සිට කටයුතු කරන්නේ ග්‍රාම නිලධාරියායී.නමුත් මෙතෙක් පහළවූ කිසිදු රාජ්‍ය නායකයෙකු ග්‍රාම නිලධාරින්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමක් සිදුවී නැතැයිද කොඩිකාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රජයේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමීති සම්මේලනයේ කැඳවුම්කරු සමන් පෙරේරා මහතා

මේ රජය 2015 සිට අවුරුදු හතරහමාරක් වෙනවා. නමුත් ග්‍රාම නිලධාරීන්ගේ ඉල්ලීම් වලට ඇහුන්කන් දීමක් වුනේ නැහැ. මේ රජයේ ජනාධිපතිවරයා සමග අප සාකච්ජා වට දෙකක්ද අමාත්‍යාංශය සමග සාකච්ජා විශාල ලෙස පවත්වා තියෙනවා.නමුත් අදටත් කිසිදු ප්‍රථිඵලයක් නැහැ. ග්‍රාම නිලධාරී කාර්යාල 2000ක් විවෘත කළේ වසර 55ක් තිස්සෙයි. අදටත් බොහෝ ග්‍රාම නිලධාරී කාර්යාල පවත්වාගෙන යන්නේ නිවාස වල,පන්සල් පල්ලි වලයි. කාර්යාල 13000ක් හදන්න ඉල්ලීම් කළා.අදටත් ඒවාට පිළිතුරු නැහැ.

උපාධිධාරී ඩිප්ලෝමාධාරී ඇතුළු සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති එච්.ඒ.ටී. රංජිත් මහතා -ග්‍රාම නිලධාරී සේවය ආරම්භවී වසර 55ක් වෙනවා. 1963දී ගම්මුලාදෑනී තනතුරෙන් බඳවාගත් මේ අය අද පරිපාලන ග්‍රාම නිලධාරීන් උපාධිධාරීන් දක්වා බඳවා ගැනීම් කරනවා. එසේ මේ වන විට ග්‍රාම නිලධාරී සේවයට උපාධිධාරීන් හාරදහසකට වඩා බඳවා ගෙන තියෙනවා.

අධ්‍යාපනය ලැබූ උපාධිධාරීන්ට රජයෙන් කිසිදු සැලකිල්ලක් නැහැ. උපාධිධාරීන් වෙනත් තනතුරු වලට බදවාගත්තා. නමුත් උසස්වීම් රටාවක් නැහැ. වැටුප් වර්ධක නැහැ.අද උසස් පෙළ ළමයින්ට රජය මගින් පරිගණක ලබාදෙන්න කටයුතු කර තියෙනවා. නමුත් ගුණාත්මක සේවාවක් කරන මේ අයට විධිමත් පුහුණුවක් ලබාදීමත් දත්ත ගබඩා සකසා ගැනීමටත් මේ අයට පරිගණකයක් බැගින් වත් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. එසේම උපාධිය නොමැති අයට උපාධිය දක්වා පුහුණු ක්‍රමයක් ආරම්භ කර ගමට විධිමත් සේවාවක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

එම අවස්ථාවට ග්‍රමා නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සම ලේකම්වරුන් වන එච්.විමල් ගුණසිරි , ඩයස් සිල්වා , සංජීව අතුකෝරල යන මහත්වරුද සහභාගී වූහ.

නව අදහස දක්වන්න