DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් මෙවරත් මහ ඉහළින් | දිනමිණ

DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් මෙවරත් මහ ඉහළින්

පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ වැඩිම කණ්ඩායම් සහභාගීත්වයක් ඇති ඩී. සැම්සන් පුත්‍ර සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලිය මෙවරත් උත්කර්ශවත් ලෙස සංවිධාන වෙයි. ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා ලෙස සැලකෙන DSI ආයතනය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, පාසල් වොලිබෝල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ එකතුවෙන් 19වැනි වරටත් මෙය සංවිධානය කරයි.

මේ තරගාවලිය පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා ‘ඔලිම්පික් නිවසේ’ පැවැති අතර රට පුරා කණ්ඩායම් 5000 ක් පමණ මෙවර තරගාවලියට එක්වන බව එහිදී ප්‍රකාශ විය. ආරම්භක අවස්ථාවේ පාසල් 198ක සහභාගීත්වයක් ලැබූ මෙම තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් ලෙස අදියර දෙකකින් පැවැත්වේ. දිස්ත්‍රික් මට්ටමෙන් ශූරතාව සහ අනු ශූරතාව දිනා ගන්නා කණ්ඩායම් ජාතික මට්ටමේ තරගාවලියට සුදුසුකම් ලබති.

ඒ අනුව මෙවර දිස්ත්‍රික් මට්ටමේ තරග අප්‍රේල් 27 වැනිදා සිට මැයි 05 වැනිදා දක්වා ද, ජාතික මට්ටමේ තරග ජුලි මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වාද පැවැත්වීමට කටයුතු යොදා ඇත. අවසන් මහා තරග ජුලි මස 27 සහ 28 දෙදින ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙහිදී වයස අවුරුදු 11න් පහළ, 13 න් පහළ, 15න් පහළ, 17 න් පහළ සහ 19න් පහළ යන වයස් කාණ්ඩ ඔස්සේ බාලක බාලිකා දෙඅංශයෙන් තරග පැවැත්වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවැසූවේ ජාතික ක්‍රීඩාව ඉහළ නැංවීම උදෙසා පාසල් වොල්බෝල් තරගාවලිය විශාල දායකත්වයක් සපයන බවයි.

“ජාතික ක්‍රීඩාව දියුණු කිරීම සදහා මාධ්‍ය සහයෝගය ඉතා අවශ්‍යයි. වොලිබෝල් සියලු දෙනාටම එක්විය හැකි ක්‍රීඩාවක්. ජාතික ක්‍රීඩාවට. ඩී. එස්. අයි. ආයතනය විශාල සහයෝගයක් ලබා දෙමින් සිටිනවා. ඒ පිළිබඳ වොලිබෝල් සම්මේලනයේ ස්තූතිය එම ආයතනයට හිමි වෙනවා” සියඹලාපිටිය මහතා පැවැසීය.

මේ සඳහා වන අයැදුම්පත් අදාළ පාසල් මගින් සහ දිවයින පුරා පිහිටි DSI ප්‍රදර්ශනාගාරවලින් මේ මස 28 වැනිදායින් පසුව ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත.

සම්පූර්ණ කරන ලද අයැදුම්පත් ළඟම ඇති DSI ප්‍රදර්ශනාගාරය වෙත භාර දිය හැකිය. නැතහොත් අංක 257 හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයේ පිහිටි DSI අලෙවි අංශය වෙත යොමුකළ හැකිය. අයැදුම්පත් භාර ගැනීම මාර්තු 29 වැනිදායින් අවසන් වේ.

නව අදහස දක්වන්න