අද ටෙලිනාට්‍යකලාව තියෙන්නේ වෙනම තැනක | දිනමිණ

අද ටෙලිනාට්‍යකලාව තියෙන්නේ වෙනම තැනක

චන්දික නානායක්කාර

විවිධත්වයෙන් යුත් චරිතවලට පණ පොවමින් පුංචි තිරය හරහා ඔබේ ආලින්දයට පැමිණි චන්දික නානායක්කාර වරින් වර ටෙලිනාට්‍ය නිෂ්පාදනයට ද යොමු විය. “හාරත හේරා” ඔහුගේ නවතම නිෂ්පාදනයයි. චන්දිකත් සමඟින් මේ සුහද කතාබහ “හාරත හේරා” සහ ඔහුගේ රංගනය ගැනයි.

මොනවද ඉතිං අලුත් තොරතුරු?

මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙන “තෝඩු” ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. ඒ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්ෂණය කරන “සුසුමක ඉම” ටෙලිනාට්‍යයේත් තවත් ටෙලිනාට්‍ය දෙකකත් රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මම කාලෙකට පස්සේ නැවත ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වුණා. ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් “හාරත හේරා” කියන ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනවා. එහි අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරන්නේ චන්දික විජේසේන. මම නිෂ්පාදනයෙන් දායක වෙනවට අමතරව ඒ ටෙලිනාට්‍යයේ චරිතයකුත් රඟපානවා.

ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අවතීර්ණ වුණු ආකාරය ගැන කිව්වොත්?

2006 අවුරුද්දෙ මම මගේ මිත්‍රයෙකුත් එකතු කරගෙන නිෂ්පාදනය කළා “සුබ සිහින” කියලා ටෙලිනාට්‍යයක්. මමත් ඒකේ රඟපෑවා. ස්වාධීන රූපවාහිනියේමයි විකාශනය වුණේ. ඒ ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් සුමති සම්මාන උළෙලෙ දි මට හොඳම නැඟී එන නළුවාට හිමි සම්මානය ලැබුණා. එතැනින් පසුව මම නිෂ්පාදන කිහිපයකට ම හවුල් වුණා. පසුගිය කාලේ නම් ටෙලිනාට්‍ය නිෂ්පාදනය ටිකක් අසීරු කටයුත්තක් වගෙයි දැනුණෙ. අපි කළේ හොඳ නිර්මාණ විතරයි. වියදම කොච්චරද කියලා බලන්නෙ නැතුව හොඳ නාට්‍යයක් නිර්මාණය කරලා ඒක අරන් ගියාම අදාළ පාර්ශ්වය බලලා, මිලක් නියම කරන කාලෙකයි අපි වැඩ කළේ. පස්සෙ ක්‍රමවේදය වෙනස්වීම වැනි ප්‍රශ්න එක්ක මම නිෂ්පාදන කටයුතුවලින් තරමක් ඈත් වෙලයි හිටියෙ. නමුත් අද වෙනකොට නැවතත් ස්වාධීන රූපවාහිනිය හොඳ තීරණ කිහිපයක් අරන් තියෙනවා ටෙලිනාට්‍ය වෙනුවෙන්. හොඳ නම් විතරයි විකාශය කරන්නේ කියන තැනකට ඇවිත් ඉන්නවා. ඒ පැත්තෙන්මයි මට මේ ආරාධනය ආවේ අලුත් වැඩක් කරමු කියලා.

ටෙලිනාට්‍ය නිෂ්පාදනය අසීරුයි කියන්න හේතුව?

රංගන ශිල්පීන් විදිහට සමහර නිෂ්පාදකයන් එක්ක වැඩ කරනකොට අපි හරි ගැටලුකාරී වගේ ම පීඩාකාරී තත්ත්වයකට පත්වෙලා තියෙනවා මේ ටෙලිනාට්‍ය කලාව කියන දේ ඇතුළෙ. ඒකට මම කාටවත් දොස් කියන්නෙ නෑ. නිෂ්පාදන පිරිවැය වැඩිවෙලයි තියෙන්නෙ. නිෂ්පාදකවරු බලන්නේ ගෙවන මුදලට උපරිම වැඩ ප්‍රමාණයක් කරගන්නයි. ඒ ඒ දවසට නියමිත වැඩ ටික අවසන් කරගන්න ඕනෙ. පැය දෙකක ප්‍රමාදයකින් වුණත් සිද්ධ වෙන පාඩුව බලවත් වෙන්න පුළුවන්. නිෂ්පාදකවරුන් යොදවන මුදල සහ නිෂ්පාදනය අවසානයේ ඔවුන්ට ලැබෙන මුදල අතර තිබෙන්නෙ බොහොම සුළු පරතරයක්. ලාබය අවමයි. ඒ නිසා ම මේ කටයුත්ත හරි ම පීඩාකාරියි.

මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 17ක් වෙනවා. හැබැයි අපි එන කාලේ හරි සුන්දරයි මේ කටයුත්ත. ටෙලිනාට්‍යක් කරනවා කියන්නේ නුවරඑළිය වගේ ඈත පළාතකට ගිහිල්ලා, ඔක්කොම එකට එක තැනක නැවතිලා, කාලාබීලා, හවසට විනෝද වෙලා, පහුවදා උදේට ආයෙත් බොහොම සැහැල්ලු මනසකින් රූගත කිරීම්වලට සහභාගි වෙලා හරි සුන්දරව කරපු කාර්යයක්. ඒ සුන්දරත්වයටයි අපි හැමෝම ආස කළේ. නමුත් ඒ සුන්දරත්වය පහුගිය කාලෙ නැතිවුණා. මේක වාණිජ ව්‍යාපාරයක් බවට පත්වෙලා හරිම පීඩාකාරී තැනකට වැටුණා. අපි හැමදාම කළේ දොස් කිය කිය ඉන්න එක. අතන කෑම හොඳ නෑ. මෙතන මරවලා වැඩගන්නවා කිය කිය ඉඳලා හරියන්නෙ නෑ. මට හිතුණා අපිට මේක මීට වඩා සැහැල්ලුවෙන් කරන්න පුළුවන් කියන දේ පෙන්නන්න ඕනෙ කියලා.

මම නිෂ්පාදනය කළොත් මම කැමති නෑනෙ රංගන ශිල්පියෙක් විදිහට මම පත්වුණ තත්ත්වයට අනිත් කෙනා පත්කරන්න. මම කැමති නැත්නම් දුක් විඳින්න අනිත් අයත් එහෙම කැමති නෑ කියන එක මම දැන් දැනගෙනනෙ ඉන්නෙ. පීඩාකාරි විදිහට නැතුව මේ දේ සුවපහසු විදිහට කරන්න පුළුවන්ද කියලා අලුත් අත්හදාබැලීමක් කරන්නත් එක්ක තමයි නැවතත් නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙන්න හිතුවෙ.

අද වෙද්දි මගේ වෙනත් ව්‍යාපාර තිබෙනවා. නමුත් ඒ බොහෝ දේ මට ලැබෙන්නෙ මම රංගන ශිල්පියෙක් වීම හරහායි. ඒ නිසා මට මේක අතෑරලා යන්න බෑ. මේක හොඳ නෑ කියලා දමලාගහලා යන එක නෙවෙයි අපි කරන්න ඕනෙ මේ ක්ෂේත්‍රය වෙනුවෙන් යම්කිසි සේවයක් කරන එකයි.

“හාරත හේරා” ටෙලිනාට්‍යයට දායක වන පිරිස ගැන මතක් කළොත්?

චන්දික විජේසේන තමයි මේ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා. ඔහු මාත් එක්ක වසර ගණනාවක් එකට කටයුතු කරපු කෙනෙක් වගේ ම මාව ලංකාවේ ජනප්‍රියම නළුවා බවට පත්කරන්න විශාල දායකත්වයක් ලබාදීපු කෙනෙක්. ඔහු අධ්‍යක්ෂණය කළ “ඉතිං ඊට පස්සේ” ටෙලිනාට්‍ය කොටස් 525ක් විකාශය වුණා ස්වාධීන රූපවාහිනී නාලිකාවේ. ඒ ටෙලිනාට්‍යයේ රඟපෑම වෙනුවෙන් මම අවුරුදු දෙකක් ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලබාගත්තා. ඒ හැමදේම ලැබෙන්නේ ස්වාධීන රූපවාහිනිය සහ චන්දික විජේසේන හරහා. මට ඔහු ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. මේ යොදවන මුදල්වලින් මුල්‍යමය වශයෙන් ලාභයක් ලැබුණත් නැතත් මට හිතෙනවා ගොඩක් ප්‍රතිලාබ ලැබෙයි කියලා. හොඳ නාට්‍යක් කරයි කියන තෘප්තිය ලබන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රවීණ පුවත්පත් කලාවේදී කුමාර සිරිවර්ධන තමයි මෙහි පිටපත රචනා කරන්නෙ. බුද්ධදාස විතානාරච්චි, මීනා කුමාරි, ජනක් ප්‍රේමලාල් වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ නව පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. වෙනස් කතා තේමාවක් යටතේ වෙනසක් කරන්න පුළුවන් විදිහෙ නාට්‍යයක් වෙයි කියන බලාපොරොත්තුව තියාගෙනයි මම “හාරත හේරා” නිෂ්පාදනයට අත ගැහුවෙ.

සිනමාව පැත්තට යොමු වුණා අඩුයි කියලා හිතෙන්නෙ නැද්ද?

සිනමාවට ඇත්තට ම යොමු වුණේ ම නැති තරම්. මං දන්නෙ නෑ ඒකට හේතුව මොකද්ද කියන්න. අපි මේ ක්ෂේත්‍රයට එන කාලෙ සිනමාව තිබුණෙ බොහොම අමාරුවෙන් යන තත්ත්වයකයි. ඒ කාලෙ අවුරුද්දකට බිහි වුණේ ඉතාම අඩු චිත්‍රපට ප්‍රමාණයක්. මං මේ කියන්නෙ මීට අවුරුදු 15කට විතර කලින් කතාවක්. එතකොට මේ රටේ යුද්ධයක් තිබුණ වෙලාවක්. සිනමා ශාලාවල් බොහොමයක් වැහිලා ගිහින් තිබුණෙ. ඒ වගේ වෙලාවක තමයි අපි මේ ක්ෂේත්‍රයට එන්නෙ. ඒ කාලෙ චිත්‍රපට හැදුණෙ සුළු ප්‍රමාණයක්. අපිත් එක්ක ක්ෂේත්‍රයට ආව සහෝදර ශිල්පීන් ඒවායේ රඟපෑවා. මට ලැබුණේ බොහොම සුළු අවස්ථා. මම දන්නෙ නෑ ඒකට හේතුව මොකද්ද කියලා. චිත්‍රපට අඩුවෙන් නිෂ්පාදන වීම වෙන්නත් ඇති. ඒක මම හිතන්නෙ අපිට වෙච්ච අසාධාරණයක් සහ අවාසනාවන්ත සිදුවීමක්.

සිනමාවට යන්න තිබුණා නම් හොඳයි. නමුත් යන්න හැකියාවක් ලැබුණෙ නෑ. මං ඒ ගැන කාටවත් දොස් කියන්න කැමති නෑ. ඒක කාලය අනුව අපිට වුණු දෙයක්. සිනමාවට එන්න තිබුණු අවස්ථාව ගිලිහිලා ගියා. ඒ ගැන කණගාටු නොවී ඉන්න පුළුවන් එකම හේතුව තමයි රූපවාහිනී මාධ්‍ය තුළින් හෝ මිනිස්සුන්ගෙ ආලින්දයට යන්න හැකියාව ලැබීම. නොලැබුණු දේ ගැන දුක් වෙනවට වඩා ලැබුණු දේ ගැන සතුටු වෙනවා කියන මානසිකත්වය හදාගෙන ඉන්නවා.

මේ හැමදෙයක් ම එක්ක ගෙදර රැඳෙන්න ලැබෙන ඉඩකඩ නම් අඩුයි වගේ?

ගෙදර ඉන්න නම් වෙලාවක් නැති තරම්. හැමදාම උදේ පාන්දර 5.30ට විතර පටන් ගත්තම රෑ 10.00 විතර වෙනකල් ම ගෙදරින් පිට තමයි ඉන්නෙ. රූගතකිරීම්, නිෂ්පාදන කටයුතු, පෞද්ගලික ව්‍යාපාර ඔක්කොමත් එක්ක මම වැඩිපුර ඉන්නෙ ගෙදරින් පිට. නමුත් ගෙදර ඉන්නවා නම් ඇත්තට ම කැමති සද්දයක්වත් නැතුව පාඩුවේ නිදහසේ ඉන්නයි. නමුත් මේ තියෙන තරගකාරී ජීවිතෙත් එක්ක එහෙම ඉඩක් ලැබෙන්නේ කලාතුරකින්. ඒ වගේ ම මට නිතර සමාජ සේවා කටයුතුවලටත් ආරාධනා ලැබෙනවා. “මිතුරු මිතුරෝ” මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්තාපන ආයතනයේත් මම සන්නාම තානාපති වශයෙන් කටයුතු කරනවා. ඒ හරහා අපි කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වුණ අයව පුනරුත්තාපනය කරලා, නැවත සමාජයට යොමු කරන එක. මේ හැම දෙයක් ම එක්ක ජීවිතේ තරමක් අවිවේකීයි තමයි. හැබැයි ඒ අවිවේකී බව ම සතුටක් කරගෙන ඉන්නවා.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න