ගොවිකම සමඟ අඩ සියවසක් | දිනමිණ

ගොවිකම සමඟ අඩ සියවසක්

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ 47 වැනි සංවත්සරය නිමිත්තෙනි.

ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික පර්යේෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී රාජ්‍ය ආයතනයක් වන ‘ගොවිජන පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය’ ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය තීරණය 1969 වසරේ දී ගන්නා ලදි. ඒ ලෝක ආහාර සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ලංකා ආණ්ඩුව අතර සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය.

1972 පෙබරවාරි 21 වැනි දින, 1972 අංක 05 දරන පාර්ලිමේන්තු පනත මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් ‘ගොවිජන පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය’ සංස්ථාගත කරන ලද අතර 1981 අංක 29 දරන ගොවිජන පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන (සංශෝධන පනත මගින් (1981 මැයි 07 1972 අංක 05 දරන පනතේ 6 වන වගන්තිය සංශෝධනය කරන ලදී.

ආයතනය පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා මෙරට කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා කළ දැවැන්ත මෙහෙවර අගයනු පිණිස 1995 පෙබරවාරි 21 වැනි දින ගොවිජන පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ‘හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය’ යනුවෙන් නම් කරන ලදි.

ගොවිජන පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ආරම්භක අවධියේ දී ලෝක බැංකුව, අ‍මෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලය, නෙදර්ලන්තයේ ‘වර්ගලින්ගන් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ වී ශ්‍රී ලංකාවේ ගොවි ගැටලු පිළිබඳ පර්යේෂණ කිරීම සිදුවිය. සමාජ ආර්ථික පර්යේෂණ පැවැත්වීමට සුදුසු වාතාවරණයක් සහ පහසුකම්වලින් අප ආයතනය පරිපූර්ණ හෙයින් විදේශීය ආයතන මෙන්ම දේශීය ආයතන ද අප ආයතනයත් සමඟ ඒකාබද්ධ වී පර්යේෂණ පැවැත්වීමට දැඩි කැමැත්තක් දක්වයි. ‘ගොවිජන සහ ග්‍රාමීය අංශයේ තිරසාර සංවර්ධනය සඳහා නව දැනුම ජනනය කර බෙදාහැරීමේ ප්‍රමුඛයා වීම’ යන අප ආයතනයේ දැක්ම මත පහත සඳහන් අරමුණු පදනම්ව තිබේ.

ආයතනයේ අරමුණු පනත මගින් පහත සඳහන් ආකාරයට දක්වා ඇත.

ගොවිකටයුතු පර්යේෂණ ධෛර්යවත් කිරීම සහ සහාය දැක්වීම.

අනෙකුත් ආයතන, දෙපාර්තමේන්තු විසින් සිදු කරනු ලබන ගොවිකටයුතු පර්යේෂණ සම්බන්ධීකරණය කිරීම.

කෘෂිකාර්මික සංවර්ධනයට බලපාන ආයතනික සාධක පිළිබඳව විමර්ශනය කිරීම මෙන්ම පර්යේෂණ කිරීම.

කෘෂිකාර්මික අරමුණු සඳහා ඉඩම් ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම, පර්යේෂණය කිරීම සහ අධ්‍යයනය කිරීම. කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධනයට අදාළ සමාජ-ආර්ථික පර්යේෂණ කිරීම. කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පහසුකම් සැපයීම සහ ආයතනය තනිව හෝ අනෙකුත් ආයතනවල සහයෝගය ඇතිව ඩිප්ලෝමා, උපාධි, ත්‍යාග සහ සම්මාන සහතික පිරිනැමීම.

ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීම්වලට සම්බන්ධ සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සහ ඒ සඳහා අනුග්‍රහය දැක්වීම.

ආසියාතික රටවල සහයෝගය ඇතිව කලාපීය අවශ්‍යතාවයන් වෙනුවෙන් කෘෂිකාර්මික ව්‍යුහාත්මක ප්‍රශ්න ගැන පර්යේෂණ කිරීම සහ තොරතුරු එක්රැස් කර බෙදා හරින මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.

ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආසියානු රටවල කෘෂිකර්මාන්තය සංවර්ධනය සහ නවීකරණය සම්බන්ධ ගැටලු කෙරෙහි පර්යේෂණ පැවැත්වීම.

අප ආයතනයේ ‘මෙහෙවර’ වශයෙන් සැලකෙන්නේ ‘පර්යේෂණ හා පුහුණු කිරීම් තුළින් ගොවිජන හා ග්‍රාමීය අංශය ශක්තිමත් කිරීමයි. 1972 අංක 05 දරන ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පිහිටුවීමේ පනතේ අංක 3.1 වගන්තියේ අප ආයතනයේ කාර්යභාරය ගැන සඳහන් වේ. ඒ අනුව අප ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ‘පර්යේෂණ තුළ දැනුම ජනනය කර බෙදා හැරීමයි’ පර්යේෂණ තුළ ලබාදෙන තොරතුරු පදනම් කරගෙන තිරසාර කෘෂිකර්මාන්තයක් සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අපේක්ෂා කෙරේ. මේ සමඟ ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර තොරතුරු හරහා සම්බන්ධීකරණයක් ගොඩනැංවීමේ ක්‍රියාවලියක ද අප ආයතනය නිරතව සිටී.

අප ආයතනයේ සමස්ත ක්‍රියාකාරීත්වය ප්‍රධාන ඉලක්ක 5ක් මත පදනම් වී තිබේ. ඒවා නම්,

1. ගොවිජන ගැටලු සඳහා සමාජ-ආර්ථික පර්යේෂණ සිදු කරන විශිෂ්ටතම ආයතනය බවට පත්වීම. 2. රජයේ සැලසුම් සම්පාදකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරිකයින් සහ පර්යේෂණ ප්‍රජාවන් සමඟ සමීප සබඳතා ඇතිකර ගැනීම. 3. දැනුම ජනනය කර කාලීනව බෙදාහැරීම තුළින් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම. 4. ජාතික ප්‍රතිපත්ති තත්ත්වයන් සම්බන්ධයෙන් ස්වාධීන තක්සේරු/ඇගයීම් ලබා දෙමින් ජනතාව දැනුවත් කිරීම. 5. ආයතනයේ කාර්ය මණ්ඩලය පුළුල් කිරීම සහ ආයතනයේ දැනුම් පදනම පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමෙන් සමාජ-ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම.

අප ආයතනයේ සමස්ත දැක්ම මත පදනම් වෙමින් හඳුනාගත් ඉලක්ක ජය ගැනීම සඳහා වන ක්‍රියාකාරකම් පහත ඒවා වේ.

1. අලෙවි තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා බෙදා හැරීම. 2. වෙළෙඳපොළ ගැටලු විමර්ශනය කිරීම. 3. පාරිභෝගික හැසිරීම විශ්ලේෂණය කිරීම. 4. රජයේ සංවර්ධන වැඩසටහන් ඇගයීම. 5. ගොවිජන හා ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතීන් මෙන්ම වැඩසටහන් හි බලපෑම ඇගයීම. 6. ව්‍යාපෘතිවලට අදාළ මූලික අධ්‍යයනයන් සිදු කිරීම. 7. කෘෂි ප්‍රතිපත්තීන් විශ්ලේෂණය කිරීම. 8. යෝජිත සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් පැවැත්වීම. 9. කෘෂිකාර්මික යෙදවුම් සැපයුම සහ සහායක සේවාවන්ට අදාළ ගැටලු පිළිබඳ පර්යේෂණ කිරීම. 10. ජල සම්පත් කළමනාකරණය සහ වාරි කෘෂිකර්මය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම. 11. පාරිසරික සහ ස්වභාවික සම්පත් කළමනාකරණ ගැටලු අධ්‍යයනය කිරීම. 12. වාරි ආයතන සහ ආයතනික ප්‍රතිපත්තීන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම. 13. ජාතික ප්‍රමුඛතාව පදනම් කොටගත් විශේෂිත විෂයන් පිළිබඳ පුහුණු වැඩසටහන් වැඩමුළු, සම්මන්ත්‍රණ සංවිධානය කිරීම. 14. බාහිර ඉල්ලීම සපුරාලීම සඳහා විශේෂිත විෂයන් පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම. 15. බාහිර නියෝජිතායතන මගින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් සඳහා විද්වතුන්ගේ සහාය සපයාදීම. 16. පුස්තකාල සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කිරීම.

17. පර්යේෂණ සොයා ගැනීම් බෙදාහැරීම සඳහා නවීන තොරතුරු තාක්ෂණය භාවිතය සවිමත් කිරීම. 18. කුසලතා සහ කාර්ය මණ්ඩල කාර්යක්ෂමතාව වර්ධනය කිරීම. 19. දක්ෂතාව මත පුද්ගල හැකියාවන් පාදක කොටගත් බඳවා ගැනීම, ඇගයීම්, මාරු කිරීම් සහ උසස්වීම් ලබාදීම. ආයතනයේ ප්‍රමුඛ අරමුණ වන ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් වෙනුවෙන් අධ්‍යයන අංශ 05 ක් වර්තමානය වන විට ක්‍රියාත්මක වේ.

1. කෘෂිකාර්මික ප්‍රතිපත්ති හා ව්‍යාපෘති ඇගයීම් අංශය.

2. කෘෂිකාර්මික සම්පත් කළමනාකරණ අංශය

3. පාරිසරික හා ජල සම්පත් කළමනාකරණ අංශය

4. අලෙවි, ආහාර ප්‍රතිපත්ති සහ කෘෂි ව්‍යාපාර අංශය

5. මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය

අප ආයතනය සතු දැවැන්ත වත්කමක් වශයෙන් පුස්තකාලය හැඳින්විය හැකිය. ආයතනයේ පර්යේෂණ කාර්ය මණ්ඩලයට, බාහිර ආයතනයන්ට සහ පුද්ගලයින්ට අවශ්‍ය කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ තොරතුරු ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙහි උසස් අධ්‍යාපනය ලැබූ හෝ දැනට එම ක්ෂේත්‍රයෙහි අධ්‍යයනයන්හි නියැලී සිටින පර්යේෂකයින්ට අවශ්‍ය අගනා ග්‍රන්ථ, වාර ප්‍රකාශන, ඇතුළු කෘති 22, 000ක පමණ එකතුවකින් අප පුස්තකාලය සමන්විත වේ. රජයේ රාජකාරී දිනවල පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා බාහිර පාඨකයින් සඳහා පුස්තකාලය විවෘතව තිබේ. පුස්තකාල සේවාවන් හා සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112 678131 මගින් ලබාගත හැකිය.

අප ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සියලු පර්යේෂණ වාර්තා ඇතුළු ප්‍රකාශන බාහිර පුද්ගලයින් වෙත අලෙවි කිරීමේ ඒකකයක් ආයතන පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇත. (ප්‍රකාශන ප්‍රදර්ශන හා අලෙවි කාර්යාලයීය වේලාවන් තුළ දී මෙම ඒකකය වෙතින් අප ආයතනය මගින් ප්‍රකාශිත ග්‍රන්ථ මිල දී ගැනීමට හැකියාව ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මොබිටෙල් ජංගම දුරකථන ජාලය හා ඒකාබද්ධව දෛනික එළවළු තොග මිල ජංගම දුරකථනයෙන් දැන ගැනීමේ අවස්ථාව ගොවීන්ට හා ව්‍යාපාරිකයින්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ‘6666 සේවාව’ අප ආයතනය විසින් ක්‍රියාත්මක කරන තවත් ප්‍රජා සේවාවක් වශයෙන් සැලකිය හැකිය.

තම 47 වන සංවත්සරය මහත් අභිමානයෙන් සමරනු ලබන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයට තවත් චිරාත් කාලයක් ගොවිජන සහ ග්‍රාමීය සංවර්ධනය උදෙසා වඩාත් තිරසාර මෙහෙවරක් ඉටු කිරීමට භාග්‍යය ලැබේවායි පතමි

ආර්.එන්.එල්. ජයතිස්ස
අතිරේක අධ්‍යක්ෂ
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු
පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය

නව අදහස දක්වන්න