බඳවා ගැනීමේ වයස් සීමා පැනවීමේ නීතිය ඉවත් කරනවා | දිනමිණ

බඳවා ගැනීමේ වයස් සීමා පැනවීමේ නීතිය ඉවත් කරනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක

රැකියා සඳහා බඳවා ගැනීමේ දී වයස් සීමා පැනවීමේ නීතිය ඉවත් කරන බවත් එම නීතිය වෙනස් කිරීම මගින් කාන්තාවන්ට‍ද ශ්‍රම බළකා‍යට එක්වීමේ අවස්ථාව උදාවන බවත් මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (11) ප්‍රකාශ කළේය.

රැකියාවක නිරතවීම සඳහා වැදගත් වන්නේ වයස නොව හැකියාව සහ සදාචාරය බවත් ඒ හේතුවෙන් රැකියා සඳහා වයස් සීමා පැනවීම ඉවත් කරන බව ද ඇමැතිවරයා පැවසීය.

මෙලෙස නීතිය වෙනස් කිරීමෙන් රැකියාවක නිරතවීමට හැකියාව ඇති කාන්තාවන්ටද ශ්‍රම බළකායට එක්වීමට අවස්ථාව උදාවන බව එරාන් වික්‍රමරත්න ඇමැතිවරයා පැවසීය.

මෙරට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හදාරන කාන්තා ප්‍රමාණය වැඩි වුවද ආර්ථිකය සඳහා කාන්තාවන් දක්වන දායකත්වය අඩු මට්ටමක පවතින අතර මේ තත්ත්වය වෙනස් කළ යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.පවුල් ඒකකයේ වැඩි වගකීම කාන්තාවන් විසින් දැරීම, දරුවන් රැක බලා ගැනීම, දරුවන් රැක බලාගැනීම සඳහා වෙනත් විකල්ප නොමැතිවීම ආදියත් මෙරට කාන්තාවන් රැකියාවලින් දුරස්ථ වීමට බලපාන අතර ඒ සඳහා විසඳුම් සෙවිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

‍රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ අයවැය පිළිබඳ දෙවන වර කියවීම පිළිබඳ විවාදයට එක්වෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේ ද කීය.

ආර්ථිකයට කාන්තා දායකත්වය ඉතාම අඩුයි. 2006 දී වැඩකරන ජනතාවගෙන් සියයට 6 ක් කාන්තාවන් සිටියා. අද වනවිට එය සියයට 36ක් වෙලා. නමුත් අධ්‍යාපනය ලබන කාන්තාවන් ප්‍රමාණය වැඩියි. කාන්තා ශ්‍රම බළකාය වැඩි කරන්න අවශ්‍ය නීති අපි පසුගිය වසරේ දී ගෙනාවා. මවුකිරීදීමේ අයිතිය ලබාදුන්නා. ඒවගේම ප්‍රසුත නිවාඩු නීතිය වෙනස් කළා. ප්‍රසූත කරන සෑම දරුවෙක් වෙනුවෙන්ම දවස් 84 ක නිවාඩු මවට ලැබෙන ලෙස නීති වෙනස් කළා. මේ අයව බඳවා ගන්න පෞද්ගලික අංශය අදිමදි කරනවා. ඔවුන්ට වියදම වැඩියි කියනවා. මේ නිසා ප්‍රසුත නිවාඩු වියදමෙන් කොටසක් රජය පියවන්න තීරණය කළා. එහෙම කළේ කාන්තාවන් ශ්‍රම බළකායට එකතුවීම වැඩිකරන්නයි.

නව අදහස දක්වන්න