රංජන්ට එරෙහි පැමිණිල්ලට දින තීන්දුයි | දිනමිණ


 

රංජන්ට එරෙහි පැමිණිල්ලට දින තීන්දුයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජුනි මස 12 වනදා යළි කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද මෙම පැමිණිල්ල කැඳවනු ලැබීය.

මෙහිදී අමාත්‍ය රංජන් රාමනායක අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තපා අධිකරණයට දන්වා සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල කර තිබෙන චෝදනාව තම සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බවය.

අධිකරණය මඟින් ප්‍රකාශිත නඩු තීන්දුවක් හෝ නඩු විභාගයක් සම්බන්ධයෙන් තම සේවාදායකයා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් අධිකරණයට හානිකර කිසිම දෙයක් ඔහු විසින් සඳහන් කර නොමැති බවත් මෙහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මීට අදාළව කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙනමෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්න අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

ඒ අනුව අදාළ පැමිණිල්ල ජුනි මස 12 වනදා කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කොට තිබේ.

 

නව අදහස දක්වන්න