අලුත විවාහවන යුවතිපතීන්ට අය-වැයෙන් පසු අඩු පොලියට නිවාස ණය ලබාදෙනවා | දිනමිණ

අලුත විවාහවන යුවතිපතීන්ට අය-වැයෙන් පසු අඩු පොලියට නිවාස ණය ලබාදෙනවා

කමනි අල්විස්

 

අලුත විවාහයට පත්වන යුවතිපතීන්ට අඩු පොලියට රුපියල් කෝටියක නිවාස ණය ලබාදීම අයවැයෙන් පසු ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

දැනටමත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ සම්බන්ධයෙන් බැංකු දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු අරඹා තිබෙන බව පැවසූ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා, ඇතැමුන්ට නිවසක් නොමැතිකම විවාහයට විශාල බාධාවක්ව පවතින බව මැනවින් තේරුම්ගත් මුදල් ඇමැතිවරයා මේ සමාජයීය ගැටලුව විසඳීමට ආකර්ෂණීය ණය මුදලක් අයවැයෙන් ලබාදී තිබෙන බවත් සඳහන් කළේය. මේ ණය මුදල කිසිවිටකත් සිහිනයක් ‍හෝ විහිළුවක් නොවන බව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදී මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද ප්‍රකාශ කළේය.

විපක්ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බව අයවැය ඡන්දයෙන් පෙනී ගියා. රාජපක්ෂ රජයේ රුපියල් බිලියන හාරදහස් පන්සීයක ණය ගෙවමින් තමයි ජනතා හිතවාදී රටට හිතකර අයවැයක් ඉදිරිපත් කළේ. මහජන සුබසාධනය ඉවත් කිරීමත් කප්පාදුවක් සිදුකළේ නෑ. ආණ්ඩුව හදන්න උදම් ඇනූ උදවිය ඡන්ද හැත්තෑවකට සීමාවී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසිපස්දෙනෙකු ඡන්දය දීමෙන් වැළකුණා. පොහොට්ටුවට අවශ්‍ය වූයේ ජනාධිපති හරහා ගිහින් ඔවුන්ගේ නඩුවලින් බේ‍ෙරන්න සහ ඔවුන්ගේ දේශපාලන ගමන යන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් අපට ගම්‍ය වන්නේ අයවැයේ සාර්ථක බවයි. පොහොට්ටුවේ නුවර රැස්වීමට පැමිණි අයගෙන් භාගයක් පමණයි ඡන්දය දුන්නේ. එම රැස්වීමේ ඡායාරූප සමාජජාලවල සැරිසරන්නේ නෑ. එයින් පැහැදිලි වන්නේ රැස්වීමේ අසාර්ථකබවයි.

ලබන සතියේදී හම්බන්තොට තෙල් පිරිපහදුවට මුල්ගල තබනවා. බිංගිරිය, කළුතර අපනයන සැකසුම් කලාප සඳහා මූලික පියවර ක්‍රියාත්මකයි. ඒකාබද්ධය සෑමවිටම සිහින මවන්නේ ආණ්ඩු හැදීමටයි. එම සිහින යථාර්ථයක් නොවෙයි. ඒකාබද්ධයට අභියෝග කරනවා ලබන වර අයවැය ඡන්දයෙන් විශාල ජයක් අප ලබන බවට යැයිද රහුමාන් මහතා පැවැසීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

මංගල ඇමැතිතුමාගේ මංගල අයවැය වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළා. ආණ්ඩුවට එකසිය දහතුනක්වත් නැති බව කියපු විපක්ෂයට තුනෙන් එකක්වත් සිටියේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිස හැර විපක්ෂයට සිටියේ මන්ත්‍රීවරු හැත්තෑවයි. විපක්ෂ කඳවුරේ බෙදීම් රැසකි. තෙවැනි වර ඡන්ද විමසීමේදී මීටත් වඩා ඡන්ද අපි ගන්නවා.

පැහැදිලි තැනක අපගේ රජය සිටිනවා. ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපයේ වෙනසක් ඇති විය යුතුයි. ආණ්ඩුවට එතුමාගේ දායකත්වය ලබාදිය යුතුයි. වසර 2015 එතුමා ලැබූ ජයග්‍රහණයට අනුව ජනතා අභිලාෂයට පටහැනිව නොයා අපගේ රජය සමඟ එක්වී ජනතා සේවයේ යෙදීමට එතුමාට හැකියි. ආරක්ෂක, පරිසර, මහවැලි, නීතිය හා සාමය අමාත්‍යාංශ පවතින්නේ එතුමා යටතේයි. මේ යුගයේ කලාපයේ ලොවටම ආදර්ශමත් නායකයකු ලෙසින් ජනාධිපතිතුමා කටයුතු කරන බවට අප තුළ එදා හැඟීමක් තිබුණා. අපත් සමඟ එක්ව ක්‍රියා කර ලොව පිළිගත් නායකයකු වීමට එතුමාට තවමත් හැකියාව තිබෙනවා යැයිද මහාචාර්ය මාරසිංහ මහතා පැවැසීය.

මෙහිදී මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්න හමුවේ මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහත්වරු ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමේ තීරණය එසේමද?

පිළිතුර- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකීම අප ලද විශාල ජයග්‍රහණයක්. එම නිසා වැය ශීර්ෂය පරාජය කිරීමට අදාළ තීන්දුව පිළිබඳව සලකා බලනවා. අගමැතිතුමා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම අරමුණයි. ජනාධිපති සමඟ දීර්ඝ සාර්ථක ගමනක් යාමටයි අප ක්‍රියා කළේ. ඒත් ජනාධිපතිතුමා පොහොට්ටුවේ ජනාධිපති බවට පත්වී ක්‍රියා කරනවා. ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය පිළිබඳවයි ගැටලු පවතින්නේ.

ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ජනාධිපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දෙන බවයි.

පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකුන නිසා රාජපක්ෂ මහතාගේ ස්ථාවරය ගැන කීමට අපහසුයි.

ප්‍රශ්නය - නව ඇමැති මණ්ඩලයක් දිවුරුම් දීමක් පිළිබඳව විපක්ෂය පවසනවා.

පිළිතුර - පොහොට්ටුව මින් පෙර ප්‍රකාශ කරපු කිසිම දෙයක් සිදුවී නෑ. අපේ රජය කියපු දේ සිදුවී තියෙනවා. ඉදිරියටත් සිදුවන්නේ එයයි. ආණ්ඩු සෑදීම, ඇමැති මණ්ඩල සෑදීම පිළිබඳ සිහින ලොවක පොහොට්ටුව සිටිනවා. සත්‍ය ඉදිරියේ එම සිහින කඩා වැටෙනවා. ජනාධිපතිතුමා කියනවා එතුමා කියන දේ රජය මායිම් නොකරන බව. එසේ නම් ජනාධිපතිවරණය පවත්වන ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

 

නව අදහස දක්වන්න