බ්‍රිතාන්‍ය ජාතික කුරාමි ඝාතනය සහ පෙම්වතිය දූෂ්‍ය කිරීම | දිනමිණ

බ්‍රිතාන්‍ය ජාතික කුරාමි ඝාතනය සහ පෙම්වතිය දූෂ්‍ය කිරීම

නෙල්කා මැදගෙදර

තංගල්ල ‘ද නේචර්’ හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාමි ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂ්‍ය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර 20ක සිර දඬුවම් විඳිමින් සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිවුදෙනාගෙන් තිදෙනකු එම දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචන පෙත්සම් අභියාචනාධිකරණයේදී පෙරේදා (13) ඉල්ලා අස්කර ගන්නා ලදී.

එම නඩු තීන්දුව මඟින් සිර දඬුවම් නියමව සිටින ළහිරු කැළුම් සහ ප්‍රගීත් චතුරංග මෙලෙස පෙත්සම් ඉල්ලා අස්කර ගත් විත්තිකරුවෝ දෙදෙනා වෙති.

එහෙත් එම නඩු තීන්දුව මඟින් සිරදඬුවම් නියමව සිටින උඩුවේ ගෙදර සම්පත් දේශප්‍රිය ගොනුකළ අභියාචන පෙත්සම දිගටම පවත්වාගෙන යාමට තීරණය කළ අතර එය ජුලි මස 27 වැනි දින කැඳවීමට තීරණය කෙරිණි.

මේ විත්තිකරුවන්ට නියම වූ සිරදඬුවම ප්‍රමාණවත් නොවන බවට නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමද මේ සමඟම ඉල්ලා අස්කර ගන්නා ලදී.

ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙහි මෙම පෙත්සම් පෙරේදා (13) කැඳවන ලදි.

එහිදී මේ පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ කුරාමි ෂෙයික් නමැත්තා 2011 දෙසැම්බර් 25 දින ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්ස්‍රැන්ඩ්‍රා නමැත්තිය දූෂ්‍ය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනකුට එ‍රෙහිව නීතිපතිවරයා විසින් නඩු පරවා තිබුණි.

එහි නඩු තීන්දුව 2014 ජුලි මස 18 දින ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණය විත්තිකරුවන් දෙදෙනකු චෝදනාවලින් නිදහස් කළ අතර විත්තිකරුවන් හතරදෙනෙකු වැරැදිකරුවන් බවට තීරණය කළේය.

ඒ අනුව තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ උඩුවේගෙදර සම්පත්, ළහිරු කැළුම්, ප්‍රගීත් චතුරංග යන සිව්දෙනාට විසිවසරක සිරදඬුවම් සහ රුපියල් අසුදහසක දඩ මුදල් නියම කරන ලදී.

එම නඩු තීන්දුව බල රහිත කර තමන් න‍ිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් මෙම අභියාචන පෙත්සම් ගොනුකර තිබුණි.

විත්තිකරුවන්ට ප්‍රමාණවත් දඬුවම් නියමව නැති බැවින් ඔවුන්ට මරණ දඬුවම නියමකරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින්ද අභියාචන පෙත්සමක් ‍ගොනුකර තිබුණි.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න