දූෂණයට එරෙහිව ජාතිය පෙළගැස්වීම! | දිනමිණ

දූෂණයට එරෙහිව ජාතිය පෙළගැස්වීම!

අල්ලසට හා දූෂණයට එරෙහි පස්අවුරුදු ජාතික සැලැස්ම ඊයේ එළිදැක්විණි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය දෙස බලනවිට ද, දේශපාලනය දෙස බලනවිට ද මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. නිදහසින් පසු ගෙවීගිය දසක හතක කාලය තුළදී අල්ලස හා දූෂණය උපරිම තලයකට පැමිණියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආයතන මෙන් ම දේශපාලකයා ද අන්තිම දූෂිත තත්ත්වයකට පත්විය. දේශපාලනය යනු මහජන මුදල් ගසාකන ව්‍යාපාරයක් බවට පත්විය. රාජ්‍ය ආයතන අල්ලසට හුරු වූ ප්‍රධාන ස්ථාන බවට පත්විය.

අල්ලස - දූෂණය - වංචා හා අක්‍රමිකතා නිසා රට විනාශයට යමින් තිබෙන බවට ජාතික සංවාදයක් ඇති වී තිබිණි. මේ සංවාදයේ පෙරමුණ ගත්තෝ රටේ බුද්ධිමත්හු වූහ. සංවාදය හා විවේචන දිගටම පැවැතුණ’මුත් දූෂණය පිටුදැකීම සඳහා ක්‍රියාකාරී වැඩසටහනක් ආරම්භ වූයේ නැත. ඉහත කී සංවාදය දේශපාලනික වූ අතර දේශපාලන පක්ෂ ද මේ ගැන ‍තදින් කතාකරන්නට පටන් ගත්තේ ය. එහෙත් සාධනීය ප්‍රතිඵලයක් දැකගත නොහැකි විය. එක අතෙකින් නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නැත. තව අතෙකින් නීතියෙන් පමණක් දූෂිත ක්‍රියාවලිය නැවැත්වීම අපහසු ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පදවිය භාරගත්දා සිටම කියා සිටියේ දූෂණයට හා වංචාවට එරෙහිව දැඩි පියවර ගන්නා බව ය. ජනාධිපතිවරයා මීට අදාළ ජගත් ගිවිසුම් කිහිපයකට ද අස්සන් තබා ඇත. ජනාධිපතිවරයාගේ පාලන සමය ආරම්භ වෙත්ම දූෂණයට එරෙහි නෛතික කටයුතු හොඳින් ක්‍රියාත්මක වන්නට පටන් ගත‍්තේ ය. මෙහි දී පෙනීගිය එක් සාධකයක් වන්නේ පවතින නීති - රීති ප්‍රමාණවත් නොවන බව ය. ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ ඇති විය යුතු බව ද පෙනී ගොස් තිබිණි. මේ අනුව කොමිෂන් සභාවක් ඔස්සේ සියල්ල සමාලෝචනය කරන්නට ජනාධිපතිවරයා පියවර ගත්තේ ය. අල්ලසට හා දූෂණයට එරෙහි ජාතික සැලැස්ම එහි ප්‍රතිඵලයකි.

රටේ බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට පනහකට ආසන්න සංඛ්‍යාවක් පවත්වා ඇත. මීට අදාළ මහජන අදහස් කොමිෂන් සභාව විසින් ඒකරාශී කර තිබේ. නීති උපදේශක මණ්ඩලයක් ඔස්සේ අල්ලසට හා දූෂණයට එරෙහි නව නීති සම්පාදනය කර තිබේ. දූෂණයට එරෙහි ජාතික සැලැස්ම විධිමත් ආකාරයකින් ගොඩනඟා ඇති බව එයින් පෙනේ. මේ පස්අවුරුදු සැලැසුම ජනතාව අවදිකරන හා රටේ රාජ්‍ය ආයතන ශික්ෂා මාර්ගයකට ගෙන යන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි ය. රට ඉදිරිගාමී පියවරකට ඔසොවා තබන ජාතික වැඩසටහන් ගණනාවක් දැන් ක්‍රියාත්මක ය. එයින් පෙනීයන්නේ රට අලුත් මාවතකට ප්‍රවේශ වී ඇති බව ය.

අප්‍රිකානු මහාද්වීපයේ බොහෝ රටවල් දූෂණය හා වංචාව නිසා වළපල්ලට ගිය රාජ්‍යයන් ලෙස හැඳින්වේ. එම රටවල දූෂණය දේශපාලන බලය සමඟ හොඳින් ගැළපී ඇත. බුද්ධිමතුන් මේ ගැන සංවාද පවත්වන්නේ වුව දේශපාලන බලය හමුවේ ඒවා යටපත් වී ඇත. නයිජීරියාවේ මහා ලේඛකයා ලෙසින් හැඳින් වූ චිනුවා අචෙබෙ වරක් කියා සිටියේ අප්‍රිකානු රටවල සම්පත් හිඟ නැති බව හා දේශපාලකයන්ගේ දූෂණ නිසා එම රාජ්‍යයන් විනාශ මුඛයට යමින් තිබෙන බවය. චිනුවා අචෙබෙ අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ විවේචනය අදටත් - හෙටටත් සත්‍යවාදී එකක් වනු ඇත.

නිදහස ලබාගන්නාවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය හොඳ මට්ටමක පැවැතිණි. එදා දේශපාලකයෝ ද අවංක වූහ. ඔවුන් දේශපාලනයෙන් හරිහම්බ කිරීමට උත්සාහ කළේ නැත. එහෙත් මේ තත්ත්වය පැවැතියේ සුළු කාලයකි. රාජ්‍ය සේවය ඉතා තදින් අල්ලසට හා අක්‍රමිකතාවලට යොමුවූ අතර දේශපාලනය තුළ දූෂණය ප්‍රමුඛ විය. 1970 ගණන්වලදී සමුපකාර සේවයේ සුළු සේවකයෝ පවා තදබල ලෙස දූෂණයට හුරුවී සිටියහ. අද වනවිට රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයක් තුළම අල්ලස හා දූෂණය පවතින බව කියති. අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පෙර සමීක්ෂණයක් සිදු කැරිණි. එම සමීක්ෂණයට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රය ද අල්ලසට ගොදුරු වී තිබිණි.

පාසලකට දරුවකු ඇතුළත් කිරීමට විදුහල්පතිවරයාට අල්ලසක් දිය යුතු ය. ආණ්ඩුවේ කන්තෝරුවකින් ලේඛනයක් ලබා ගැනීමට නිලධාරීන්ට අල්ලසක් දිය යුතු ය. ඇතැම් රාජකාරි සඳහා ලිංගික අල්ලස් ලබා ගන්නා අවස්ථා ද තිබේ. මහපාරේ රථවාහන නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් අල්ලසට තදින් ඇබ්බැහි වී ඇතැ’යි සමහරු පෙන්වා දෙති. මේවා අසත්‍ය චෝදනා නොවන බව සිදුකරන ලද වැටලීම්වලින් පැහැදිලි වී ඇත. දරුවකු පාසලට අතුළත් කරගැනීම සඳහා අල්ලසක් ලබාගත් විදුහල්පතිවරයෙක් මීට සති දෙකකට පමණ පෙර අත්අඩංගුවට පත්විය. කෝප් කමිටුවේ වාර්තාවලට අනුව අපේ රාජ්‍ය - ආයතනවලින් බොහොමයක් අන්තිම දූෂිතය.

රටක් ඉදිරියට ගෙනයෑමට නම්; රාජ්‍ය අංශය සාධනීය ලෙස පවත්වාගෙන යා යුතුය. මහතීර් මොහොමඩ් මහතා මැලේසියානු රාජ්‍ය සේවය ගොඩනැඟුවේ; පළමුව එය විනයගරුක තැනක් බවට පත්කිරීමෙන් ය. එම ආදර්ශය අපට ද බෙහෙවින් වටී. මහතීර් මොහොමඩ් මහතාගේ පළමු පාලන සමයට පෙර මැලේසියානු රාජ්‍ය සේවය පැවැතියේ ද දූෂිත තැනක ය. දූෂණය සමඟ එකට බද්ධ වූ අනෙක් සාධකය වන්නේ අකාර්යක්ෂමතාවයි. ඒ දෙකම පිටුදකින්නට මහතීර් මහතාට හැකි විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ ද ඉහත කී රෝග දෙක තිබේ. එහෙත් ශක්තිමත් වැඩසටහනක් ඔස්සේ රෝග දෙකම වළක්වා ගත හැකි ය.

දූෂණය හා වංචාව ගැන සංවාද කරනවිට අපගේ වැඩි අවධානය යොමුවන්නේ රාජ්‍ය අංශය වෙත ය. එහෙත් අල්ලසට හා දූෂණයට එරෙහි ජාතික සැලැස්ම ඔස්සේ පෞද්ගලික අංශය අත්හැර නැත. දේශපාලන ක්ෂේත්‍රය ද අතහැර නැත. වැඩසටහනේ ඉලක්කය වන්නේ අවුරුදු පහක් තුළ රටේ සෑම අංශයකින්ම අල්ලස හා දුෂණය තුරන්කිරීම ය. ලෝකයේ දියුණු රටවල පෞද්ගලික අංශයේ සේවකයන් පාරිභෝගිකයන් ලබාදෙන සන්තෝෂම් පවා ප්‍රතික්ෂේප කරන්නේ එය නීතියෙන් තහනම් ක්‍රියාවක් බැවින් ය. ශ්‍රී ලංකාව ද එම තත්ත්වයට ගෙන යා හැකි ය. ඉහත සැලැස්ම ඊට පදනම වනු ඇත.

අල්ලසක් ගැනීම මෙන් ම අල්ලසක් දීමට තැත් කිරීම ද නීතිය හමුවේ වරදකි.

 

නව අදහස දක්වන්න