කුරුණෑගල සිට හබරණට අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකරනවා | දිනමිණ

කුරුණෑගල සිට හබරණට අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකරනවා

නිමල් රාජපක්ෂ

පොදු මහජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 947ක වියදමකින් කුරුණෑගල සිට හබරණ දක්වා අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

වසර හතරකින් නිම කිරීමට නියමිත මේ ව්‍යාපෘතිය සඳහා 2018 වසරේ දේශීය අරමුදල් රුපියල් මිලියන 80 ක මුදලක් වෙන්කර තිබු බවද පවසයි.

ඇමැතිවරයා මේ අදහස් පලකළේ පසුගියදා මහනුවර අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් සමඟ පැවැති සාකච්ජාවකදීය. අස්ගිරි විහාරස්ථානයට අයත් ඉඩම් කොටස් මේ දුම්රිය මාර්ගය නිසා අහිමි වන බැවින් ඒ සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කෙරිණි.

මෙහිදී ඇමැතිවරයා මෙසේද කීය.පොදු ජනතාවට කාර්යක්ෂමව හා ලාභදායි ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහා තිරසාර ප්‍රතිපත්තියක් වන ප්‍රවාහන ක්ෂේත්‍රය ගොඩනැංවිය යුතුයි.පොදු ප්‍රවාහන සේවාවන්ට ප්‍රමුඛතාව ලබාදීම වශයෙන් මහාමාර්ග පද්ධතිය හරහා සිදු කෙරෙන මගී හා භාණ්ඩ ප්‍රවාහනය දුම්රිය සේවාව වෙත ආකර්ශණය කරවීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.ඒ අනුව කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය කිලෝමිටර් 84ක දුරකින් යුතුව වුවත් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නවා.

චයිනා එක්සිම් බැංකුවේ (China Exim Bank) අරමුදල් යටතේ ඉදි කෙරෙන කුරූණෑගල හබරණ දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා මුලික ශක්‍යතා අධ්‍යනය සිදු කොට නිර්මාණ සකස් කොට මේ වනවිට අවසන්වී තිබෙනවා.ඉඩම් පවරා ගැනීමෙන් පසු කඩිනමින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 07ක් ද,උප දුම්රියේ ස්ථාන 04කින් ද සමන්විතයි. ප්‍රධාන දුම්රිය ස්ථාන වන්නේ කුරුණෑගල, ඉබ්බාගමුව, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල, සීගිරිය, හබරණ යන දුම්රිය ස්ථානයි. ගොකරැල්ල, බෙලිගමුව, තලකිරියාගම යනුවෙන් උප දුම්රිය ස්ථාන ඉදිකිරීමට නියමිතය.එමෙන්ම මූදුන්දූව ස්ථානයෙන් මීටර් 125ක් දුර උමං මාර්ගයක් ද,පොල්ගොල්ල ස්ථානයෙන් මීටර් 248 ක් දිග උමං මාර්ගයක් ද, ඔමාරගොල්ලෙන් මිටර් 1840 ක් දිග උමං මාර්ගයක් ද ඉදි කිරීමට

නියමිතය. මේ උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව ලංකාවේ දිගම උමං මාර්ගය ඔමාරගොල්ල වනු ඇත. මේ මාර්ගයේ පාලම් 08 ක් ද ඉදිවන අතර මීටර් 789 ක් දුර දැදුරු ඔය හරහා දිගම පාලම ඉදිවෙන බවද අර්ජුන රණතුංග මහතා පැවසීය.

අස්ගිරි විහාරයට අයත් දඹුල්ල කුරුණෑගල ප්‍රදේශවල ඉඩම් කොටසක් යෝජිත කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගයට ගන්න සිදු වෙනවා. ඒ සම්බන්ධයෙන් අස්ගිරි නායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ජා කළා. උන්වහන්සේලාගෙන් මේ සංවර්ධන කටයුතුවලට කිසිම විරෝධයක් නැහැ.මේ සම්බන්ධයෙන් උන්වහන්සේලා ඉදිරි සති 02 ඇතුළත යහපත් ප්‍රතිචාරයක් ලබාදේවි. ඒ නිසා කඩිනමින්ම මේ ඉඩම් පවරා ගැනීමට හැකි වේවි. විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගවල වාහන තදබදය වැඩිවීම සිදු වන බැවින් දුම්රිය මාර්ග ඉදිකර දුම්රියේ පහසුකම් වැඩි කිරීමෙන් ඒ මගින් දුම්රිය දෙසට මගී ආකර්ශණය කරගන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනයත් දුම්රිය මගින් කරන්න පුළුවන්. එවිට මගී ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් ලබාදිය හැකිවන අතර මාර්ග තදබදයද අඩුවනු ඇතැයිද මෙහිදී පැවසීය.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගි වුහ.

නව අදහස දක්වන්න