වවුනියාවේ දාගැබක් හාරා නිදන් සෙවූ 4ක් කොටු කරගනී | දිනමිණ

වවුනියාවේ දාගැබක් හාරා නිදන් සෙවූ 4ක් කොටු කරගනී

වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පැරණි දාගැබකට හානි කරමින් හාරා නිදන් සෙවූ පුද්ගලයන් හතරදෙනකු වවුනියාවේ පුලියන්කුලම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. බැකෝ යන්ත්‍රයක් මඟින් වෙහෙර හාරා කිරිගරුඬ බුදු පිළිමයක්, මැටියෙන් නිමවන ලද බුදු පිළිමයක සිරස කොටසක්, පැරණි දාගැබක මැටියෙන් නිමවන ලද කොත් කැරැල්ලක්, මැටි පහන් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් මේ පිරිස විසින් පෞරාණික දාගැබෙන් ගොඩගෙන තිබේ. බුදු පිළිමය තුළ රත්‍රන් හෝ මැණික් ඇති බවට මෙම සැකකරුවන් විශ්වාස කොට ඇති බැවින් පිළිමයට හානි කොට ඒ තුළ ඇති දේ සොයා තිබේ. සැකකරුවන් වවුනියාව නෙඩුන්කේනි, ත්‍රිකුණාමලය, මඩකලපුව ප්‍රදේශයන්ගේ පදිංචි වයස අවුරුදු 34-38ත් අතර වන පිරිසකි.

සැකකරුවන් සතුව තිබී නිධන් හැරීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ගමන් කිරීමට යොදාගත් ත්‍රිරෝද රථයක්, නිදන් බැලීමට යොදාගන්නා අඳුනක්, විවිධ වර්ගයේ මන්ත්‍ර සහිත පොත් රැසක්, පුජා උපකරණ තොගයක් ඇතුළු භාණ්ඩ තොගයක් ද පුලියන්කුලම පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

පුරාවස්තු හා සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

නව අදහස දක්වන්න