පිපිරීම්වලින් මියගිය අය වෙනුවෙන් වන්දි ගෙවීම ඇරඹේ | දිනමිණ

පිපිරීම්වලින් මියගිය අය වෙනුවෙන් වන්දි ගෙවීම ඇරඹේ

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් ඒ අයගේ පවුල් 70ක් සඳහා වන්දි ගෙවීමේ කටයුතු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පෙරේදා (30) සිදු විණි. කටුවාපිටිය ප්‍රදේශයේ මිය ගිය අයගේ පවුල්වල එක් අයකු සඳහා රුපියල් ලක්ෂ 03 ක මුදලක් ගෙවීම සිදු කිරීම එදින සිදු කෙරිණි.

අවමංගල්‍යාධාර කටයුතු සදහා රුපියල් ලක්ෂයක මුදලක් පළමු අදියරේදී ලබා දී තිබේ.

ඉතිරි රුපියල් ලක්ෂ 06 ක මුදල මරණ සහතික ලබා ගැනීමෙන් පසු ලබා දීමට නියමිතව ඇත.

මෙම ප්‍රහාර‍යෙන් මියගිය පුද්ගලයින් 92 ක් සදහා වන්දි මුදල් ප්‍රදානය කිරීමට යොදා ඇති ඇත. ඉන් පුද්ගලයින් 70 ක් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම පෙරේදා සිදු කර ඇත.

අදාළ ප්‍රහාර මාලාවෙන් මිය ගිය, තුවාල ලැබූ සහ දේපල හානි සදහා කඩිනමින් වන්දි ලබා දීමේ කටයුතු රජය විසින් සුදානම් කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ අදාළ වන්දි ලබා දීමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යංශ ලේකම් වී.සිවඥාන‍සෝතී මහතා මෙහිදී පවස යි.

මෙම වන්දි ගෙවීමේ කටයුතු ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානිපූර්ණ කාර්යාලය විසින් සූදානම් කර තිබේ.

මියගිය පුද්ගලයකු සදහා රුපියල් ලක්ෂ 10 ක මුදලකුත්, තුවාල ලැබූවකු සදහා උපරිමය රුපියල් ලක්ෂ 5 ක් සහ දේපල හානි සදහා උපරිම රුපියල් ලක්ෂ50 ක මුදලක් ගෙවීමට රජය විසින් අවශ්‍ය කටයුතු සුදානම් කර තිබේ.

මෙම අවස්ථාවට සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය පරිපාලන කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන , ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසෝතී , හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂක ආනන්ද විජේපාල යන මහත්වරු සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න