ත්‍රස්ත ක්‍රියා ගැන තොරතුරු ආරක්ෂක අංශ වෙත දෙන්න | දිනමිණ

ත්‍රස්ත ක්‍රියා ගැන තොරතුරු ආරක්ෂක අංශ වෙත දෙන්න

අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බවත්, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන අය හෝ ඊට අනුබල දෙන අය පිළිබඳව තොරතුරු දන්නේ නම් එම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) දින මඩකලපුවේදී පැවැසීය.

අන්තවාදීන් කිහිප දෙනකු එකතුව පසුගිය 21 වැනිදා ස්ථාන කිහිපයක බෝම්බ පුපුරවා හරිමින් ඛේදවාචකය සිදු කර ඇති බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය ජය ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නේය.

පසුගිය දා ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (03) දින පෙරවරුවේ එහි පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ නිරීක්ෂණ චාරිකාවට රජයේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ද එක් වූහ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් සියෝන් දේවස්ථානය වෙත වික්‍රමසිංහ මහතා පැමිණෙන විටත් අවට ප්‍රදේශවාසීන් රැසක් එම දේවස්ථානය පිහිටි භූමිය ආසන්නයට එක් රොක් වී සිටි අයුරු දක්නට ලැබිණි.

සියෝන් දේවස්ථානය සහ ඒ අවට භූමියේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරු දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව එහි පූජකතුමන්ලා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ.

දේවස්ථානය ඉදිරිපිට භූමියට එක් රොක්ව සිටි ජනතාව හමුවට පැමිණි වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත වන්නට විය.

බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූ පිරිස් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමක් ද මෙහි දී සිදු විය. ඒ අනුව මිය ගිය පුද්ගලයකු වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක් ද, තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබාදීම ද සිදු කරන ලදී.

ඉන් අනතුරුව තව දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පළමුවෙන්ම අපේ රජය වෙනුවෙන් මම ඔබ සියලු දෙනාටම කනගාටුව ප්‍රකාශ කරනවා. ජීවිත නැති වූ අපේ සහෝදර ජනතාවගේ පවුල්වල තිබෙන කනගාටුව, වේදනාව, වචනයෙන් ප්‍රකාශ කළ නොහැකියි. මෙය කිසිවකුත් බලාපොරොත්තු නොවූ සිදුවීමක්. නමුත් අප එම තත්ත්වයට මුහුණ දෙමින් සිටිනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

මේ සිදුවීම මට කොළඹ දී දැන ගන්නට ලැබුණු විට වහාම මඩකලපුවේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. නැති වූ ජීවිත අපට නැවතත් ලබාගත නොහැකියි. එම නිසා ඇත්ත වශයෙන්ම මම නැවත නැවතත් ඒ වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරනවා.

නව අදහස දක්වන්න