ජල ක්‍රීඩා නිලවරණය මේ මාසයේ නැත්නම් ලෝක පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකාවට තහනම් | දිනමිණ

ජල ක්‍රීඩා නිලවරණය මේ මාසයේ නැත්නම් ලෝක පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකාවට තහනම්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය මේ මස 31 දිනට පෙර අවසන් නොවුණහොත් එළැඹෙන ලෝක පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකාවට තහනම් කරන බව ලෝක ජල ක්‍රීඩා සංගමය අනතුරු හඟවයි. ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙතෙක් ගෙන ඇති පියවර කුමක්ද යන්න වහාම දැනුම්වත් කරන ලෙසද ලෝක ජල ක්‍රීඩා සංගමය මේ වනවිටත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ හිටපු නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

ලබන ජූලි මස 12වැනිදා සිට 19වැනිදා දක්වා කොරියාවේ ගුවැන්ජූ හී ලෝක පිහිනුම් ශූරතාවලිය පැවැත්වෙන අතර එයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය නොවුණහොත් ඉදිරි තරගාවලි කිහිපයක් වාරණය කිරීමට ලෝක ජල ක්‍රීඩා සංගමයට හැකියාව ඇත. එසේ වුවහොත් මේ වසරේ පැවැත්වෙන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට ද බලපෑමක් වනු ඇතැයි විචාරක මතයවී තිබේ.

දකුණු ආසියා ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් දිනා ඇත්තේ පිහිනුම් ක්‍රීඩාවෙන් වන බැවින් එම ක්‍රීඩා උළෙලේදී පිහිනුම් ක්‍රීඩාව අහිමි වුවහොත් රටක් ලෙසද ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් සිදුවේ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී ඉන්දියාව වැනි ප්‍රබල රටක් ශ්‍රී ලංකාවට දෙවැනිවී ඇත්තේ ද පිහිනුම් ක්‍රීඩාවෙන් පමණක් බැවින් ශ්‍රී ලංකා පදක්කම් එකතුවට ද සැලකිය යුතු බලපෑමක් ඇතිවේ.

ජල ක්‍රීඩා සංගමය විසුරුවා මේ වනවිට ජල ක්‍රීඩා අතුරු කමිටුවක් පත්කර ඇති අතර එහි සභාපති ලෙස එම්. ආර්. පී. සත්කුමාර මහතා කටයුතු කරයි. පියල් හේවගේ හා වෛද්‍ය දමින්දා අත්තනායක යන මහත්ම මහත්මීහූ එහි සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර අශේන් ප්‍රනාන්දු මහතා පෞද්ගලික හේතු මත අතුරු කමිටුවෙන් ඉල්ලා අස්විය.

ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය වෙනුවෙන් පළමු පියවර ලෙස විශේෂ මහා සභා රැස්වීමකදී නිලවරණ කමිටුව මෙයට මාස 2කට පමණ පෙර පත්කරගත් අතර විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලී සමරසිංහ මහතා එම කමිටුවේ සභාපති ලෙසත්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරී ජයනී පින්නවල මහත්මිය හා ඒ. එච්. අමරදාස මහතා කම්ටු සාමාජිකයන් ලෙසත් පත්ව සිටිති. එහෙත් නිලවරණ කමිටුවට නිලවරණයට අදාල ඉදිරි කටයුතු උදෙසා අවස්ථාවක් උදාවී නැතැයි පැවැසේ.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ හිටපු නිලධාරීන් නිලවරණය කැඳවීමේ නිවේදනය සාමාජික සංගම් වෙත යැවීමට සූදානම් වෙද්දී සංගමය විසුරුවා අතුරු කමිටුවක් ගැසට් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය. ජල ක්‍රීඩා සංගමය තම සාමාජිකයන් වෙත යැවූ නිලවරණ දැන්වීමේ සඳහන් වූයේ පසුගිය දෙසැම්බර් මස 20 වැනිදා ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී නිලවරණය පැවැත්වෙන බවය.

මෙලෙස ජල ක්‍රීඩා නිලවරණය සම්බන්ධ ස්ථාවර දෙකක් මතුවෙද්දී ලෝක ජල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනමක් පැනවීය. එහෙයින් ඉන්දියාවේ නවදිල්ලි හී පැවැත්වීමට නියමිත දකුණු ආසියා පිහිනුම් ශූරතාවලිය ද ඇනහිටිණි.

නිලවරණය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රධානතම හේතු ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කළේ එහි නිලතලවලට පුහුණුකරුවන් පිරිසක් නාම යෝජනා ලබාදීම ක්‍රීඩා පනතට අනුකූල නොවන බවය. අනතුරුව ජල ක්‍රීඩා සභාපති මහින්ද ලියනගේ මහතා ඇතුලු නියෝජිතයන් කිහිපදෙනකු කැඳවා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පරීක්ෂණයක් පැවැත්වුණි.

ඒ සමගම ජල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස කටයුතු කළ සංගමයේ නිලතල දැරූ හිටපු නිලධාරීන් 8ක් නාම යෝජනා ලබා නොදෙන බව ප්‍රකාශ කළහ. ක්‍රීඩා රෙගුලාසි අනුව පුහුණුකරුවන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ට ක්‍රීඩා සංගමයක තනතුරු දැරීමට නොහැකි බව එම පිරිස පිළිගෙන තිබිණි.

මෙලෙස නාම යෝජනා ලබා නොදී තනතුරු හැර යෑමට තීරණය කළේ හිටපු සභාපති මහින්ද ලියනගේ, හිටපු උප සභාපති පී. එස්. පී. දයානන්ද, වෝටර් පෝලෝ අංශයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ දිනේෂ් දයානන්ද, හිටපු තාක්ෂණික අධ්‍යක්ෂ ඒ. එස්. සෝමචන්ද්‍ර හා හිටපු කමිටු සාමාජිකයන් වන කේ. එස්. පද්මසිරි, ජානක ලාල්, ඩේවිඩ් බෝලිං හා ගුනේත්‍රී අරුණලතා යන මහත්ම මහත්මීහු වෙති.

නව අදහස දක්වන්න