ශ්‍රීලංකන් ගුවන් සේවයට ප්‍රධාන මූල්‍ය හා වාණිජ නිලධාරීන් පත් කරයි | දිනමිණ

ශ්‍රීලංකන් ගුවන් සේවයට ප්‍රධාන මූල්‍ය හා වාණිජ නිලධාරීන් පත් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ ගෞරවාන්විත සාමාජිකයකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නව ප්‍රධාන වාණිජ නිලධාරීවරයා ලෙස ජොශුවා බුස්ටොස් (Joshua Bustos) මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස ශමින්ද සමරවීර මහතා අප්‍රේල් මස සිට පත්කර තිබේ.

බුස්ටෝස් මහතා වසර 20 ක පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර මට්ටමේ ජ්‍යෙෂ්ඨතම ගුවන් සේවා විධායක නිලධාරිවරයෙකි.

ඒ මහතා ඇමරිකන් එයාර්ලයින්ස්, ස්පිරිට් එයාර්ලයින්ස්, සවුත්ඇෆ්රිකන් එයාර්වේස්, ටයිගර් එයාර්වේස්, සැබ්රේ එයාර්ලයින්ස් සොලූෂන්,සෆී එයාර්වේස් සහ KPMG වැනි ප්‍රධාන පෙළේ ගුවන් සේවා ආයතනවල ප්‍රධාන තනතුරු රැසක් හොබවා තිබේ. ඔහු සවුත්ඇෆ්රිකන් එයාර්වේස් හි සේවා කාලය තුළදී network sounding board මණ්ඩලයේ සහ ආදායම් කලමනාකරණ උපදේශක මණ්ඩලයේ සේවය කළේය.

ඒ මහතා මියාමි විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සහ ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. බුස්ටෝස් මහතා මියාමි ෆ්ලොරිඩා ඇට්ලාන්ටික් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හි Witwatersrand විශ්ව විද්‍යාලවල අඛණ්ඩ අධ්‍යාපන කටයුතු සඳහා සම්බන්ධ වී තිබේ.

බුස්ටෝස් මහතා ලාංකිකයන් සහ හා විදේශීය ජාතිකයන් ඇතුළත් වූ සම්මුඛ පරීක්ෂණයෙන් පසු එම තනතුරු සඳහා තෝරා ගෙන තිබේ.

ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස තෝරා පත්කරගන්නා ලද සමරවීර මහතා වසර 15 කට වැඩි කාලයක සිට විදුලි සංදේශ, බැංකු සහ නාවික කටයුතු ඇතුළු ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආයතන රැසක අත්දැකීම් දරා තිබේ. එටිසලාට් ලංකා, ලංකා දුම්කොළ සමාගම, CTC, ඩයලොග් ආසියාටා පීඑල්සී සහ උතුරු ඇමරිකාවේ NAVTEQ වැනි ප්‍රධාන පෙළේ ආයතන රැසක තනතුරු හොබවා ඇත.

ඒ මහතා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ විදුලි සංදේශ ඉංජිනේරු උපාධියක් ලබා ඇති අතර ඊට අමතරව උතුරු ඩ්කෝටා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධි කිහිපයක් හිමිකරගෙන තිබේ. හෙතෙම වරලත් ගෝලීය කළමණාකරන ගිණුමේ (USA) සාමාජිකත්වය හා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (UK) සාමාජිකයෙකි.

ශ්‍රීලංකන් ගුවන් සේවය නව බඳවා ගැනීම් සඳහා දැඩි ක්‍රියා පටිපාටියක් අනුගමනය කරනු ලබන අතර එහි දී පුද්ගලයාගේ සුදුසුකම් පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ වාර්තා සහ හැසිරීම් පිළිබඳව ද අධ්‍යනය කරනු ලබයි. විශේෂයෙන් විදේශීය ජාතිකයන් බඳවා ගැනීමේදී අදාල විදේශ බලධාරීන්ගෙන් අවශ්‍ය නිශ්කාෂණ වාර්තා පත්වීම ලබාදීමට පෙර ලබා ගැනීම සිදුකරයි.

බුස්ටෝස් මහතා සහ සමරවීර මහතා ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ එක්වීම පිළිබඳව කළමනාකාරීත්වය සතුටු වන අතර ඉදිරි වසරවල දී ජාතික ගුවන් සේවය මූල්‍යමය වශයෙන් සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කිරීමට ඔවුන්ගේ විශේෂඥභාවය සහ නායකත්වය අත්‍යවශ්‍ය වනු ඇත.

නව අදහස දක්වන්න