වෙස්මුහුණ ගලවන්න එන්න | දිනමිණ

වෙස්මුහුණ ගලවන්න එන්න

ලූෂන් බුලත්සිංහලගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘වෙස් මුහුණ ගලවන්න’ නම් නාට්‍යය නැරඹීමට ලැබීමෙන් ලද ආශ්වාදය හා ප්‍රබෝධය නිසාම විචාරකයෙකු වශයෙන් පරිචයක් හා සුදුසුකමක් නොමැත්තෙකු වුව ද හුදු රසිකයෙකු ලෙස සටහනක් තබන්නට මට සිතිණි. මිනිසත්කම හා ජීවිතය විනිවිද දැකිය හැක්කේ අප පැලඳ සිටින විවිධාකාර වෙස් මුහුණු ගලවා ඒවා දෙස බැලීමෙන් පමණක් බව “වෙස් මුහුණු ගලවන්න” නාට්‍යය අපට ඉඟි කරන්නේය. නාට්‍යයෙන් ආශ්වාදයක් විඳිය හැක්කේ ද අප පැලඳ සිටින වෙස්මුහුණු ගලවා එය නැරඹීමෙන් පමණක් බව මම සිතමි. මා මේ නාට්‍යය ගැන වෙවැනි සටහනක් ලියන්නට පෙළඹුණේ නාට්‍ය විචාරකගේ වෙස් මුහුණක් මට නොමැති බව දැන දැන ය. සත්‍ය වශයෙන්ම එවැනි වෙස් මුහුණක් ණයට හෝ ගෙන පැලඳ ගැනීමේ හැකියාවක් ද මට නැත. ඒ නිසා ම මේ නාට්‍යය ගැන පැකිලීමකින් තොරව මට මගේ අදහස් ප්‍රකාශ කිරීමට හැකි ය.

ලූෂන් බුලත්සිංහල 1963 දී ‘මන්නඩියා’ නමින් සිය කුළුඳුල් නාට්‍යය නිෂ්පාදනය කරමින් ශ්‍රී ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රයට සම්ප්‍රාප්ත වූ නාට්‍ය කරුවෙකි. ඔහු අතින් නිර්මාණය වූ නාට්‍ය විශේෂයෙන් ම රතුහැට්ටකාරී (1974), තාරාවෝ ඉගිලෙති (1981) සහ පාරාදීසයේ පාරක් නෑ (2008) යන නාට්‍ය රසික ප්‍රසාදයටත් විචාරක සම්භාවනාවටත් පාත්‍ර වූ සැටි අපට තවමත් මතක ය. “වෙස් මුහුණ ගලවන්න” නාට්‍යය මේ ප්‍රවීණ නාට්‍යකරුවා ශ්‍රී ලාංකේය නාට්‍ය රසිකයන් වෙත පුදන නවතම කලාත්මක සම්ප්‍රදානයයි.

මුලින් ම සඳහන් කළ යුත්තේ මේ නාට්‍යය අණ්‍යන්ත කාලෝචිතභාවයකින් යුක්තය යන කරුණ ය. ශ්‍රී ලාංකේය නාට්‍යවේදීන්ගෙන් නිසි අවධානය යොමු නොවුණු තේමාවක් වෙත මේ නාට්‍යය මගින් ලූෂන් බුලත්සිංහල අවධානය යොමු කරයි. සමහරවිට මේ නාට්‍යය ගැන මෙබඳු සටහනක් ලිවීමට මා පොළඹවන ලද උත්තේජනය ද එය විය හැකිය. අධිරාජ්‍ය ග්‍රහණයෙන් නිදහස ලබාගත් තැන් සිට මෙරට ජනතා අභිප්‍රායන් නිවැරදිව හඳුනා ගැනීමට අපි අපොහොසත් වීමු. අප අසල්වැසියන් දෙස බැලුවේ සතුරන් දෙස බලන ඇසිනි. එකම රටක විවිධ ජාතීන්ට එකට ජීවත් වීමට හැකි වටපිටාවක් පරිසරයක් හදාවඩා ගැනීමට ශ්‍රී ලාංකිකයෝ අපොහොසත් වූහ. අපේ දේශපාලකයෝ බල තන්හාව නිසා ජාතිවාදී, ආගම්වාදී පමණක් නොව කුලවාදී වෙස් මුහුණු බැඳ මහජනයා රැවටීමට පසුබට නොවූහ. නිදහස ලැබී වැඩි කලක් නොගොස් සුළු ජාතීන් අතර මතුවූ ඉච්චාභංගත්වය පනස් ගණන්වලදී භාෂා අර්බුදයක් බවට පත්විය. අසූව දසකය වන විට එය වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා වූ සටනක් බවට මුහුකුරා ගිය අතර බෙදුම්වාදී සටන්කරුවන් හා රජයේ හමුදා අතර වසර තිහක් තිස්සේ අහිංසක මිනිස් ජීවිත දස දහස් ගණනක් බිලිගත් කුරිරු යුද්ධයකින් මුළු රටම ඇලලී ගියේය. බෙදුම්වාදී සටන්කරුවන් සමූලඝාතනය කරමින් යුද්ධය නිමා වී ඇත. එහෙත් ජාතීන් අතර හැබෑ සංහිඳියාවක් උදා වී නොමැත. යුද්ධයකට මුල් වූ හේතුකාරක පිරිසිඳ දැන ඒවාට විසඳුම් සෙවීමටත් ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තහවුරු කිරීමටත් අපි අපොහොසත් වී සිටිමු. ඊට ප්‍රධාන හේතුව බලකාමයෙන් දූෂිත වූ අපගේ දේශපාලන නායකයන් බැඳ සිටින්නා වූ වෙස් මුහුණු නොවන්නේ ද?

ඉහත කී සමාජ පසුබිම තුළ සහජීවනය තේමාකොටගත් නාට්‍යයක් නිර්මාණය කිරීමෙන් ලූෂන් බුලත්සිංහල ඉටුකර ඇත්තේ, නිර්භීත පුරෝගාමී, මෙහෙවරක් බව කිව යුතු ය. ඒ අනුව ‘වෙස් මුහුණ ගලවන්න’ යනු කාලෝචිත කලා නිර්මාණයකි.

ලූෂන් බුලත්සිංහල නාට්‍ය මගින් සිය අදහස් උදහස් හා හැඟීම් සමාජගත කිරීමේ යෙදෙන කලාකරුවෙකි. ඒ අතින් ඔහු හෙන්රික් ඉබ්සන් නම් මහා නාට්‍යකරුවා අප සිහියට නගන්නේ යැයි සිතමි.

ලෙහෙසියි පහසුයි පරාද කරන්න මිනිසුන් හරිම අමාරුයි දිනා ගන්න නම් මිනිසුන් හිතන්න, හිතන්න හිතන්න ඒ සිහිනුවණින් මේ වැනි අදහස් ගීත මගින් මෙන් ම දෙබස් මගින් ද අප වෙත ඉදිරිපත් කෙරෙන්නේ නාට්‍යෝචිත ආකාරයෙනි. සෝවියට් කවීන් අතර විප්ලවයේ කවියා ලෙසින් විරුදාවලී ලත් මයාකොවුස්කිගේ කාව්‍යයන්ගෙන් ගම්‍යමාන වූ ගාම්භීරය අර්ථයක් වූයේ කවියා දැඩිව අදහස් පැවැසිය යුතු බව යයි ප්‍රකට සෝවියට් කලා විචාරකයෙකු වූ මහාචාර්ය කබල්නිකොව් සඳහන් කරයි. ලූෂන් බුලත්සිංහල ද අදහස් ප්‍රකාශ කිරීම අතින් මයාකොවුස්කි සම්ප්‍රදාය සිහිපත් කරන්නේ යැයි කෙනෙකුට සිතෙනු ඇතිය.

නාට්‍යයයේ පාත්‍ර වර්ගයා වෙස් මුහුණක් පැලඳ වේදිකාවට අවතීර්ණය වීම මෙම නාට්‍යයෙහි සුවිශේෂී ලක්ෂණයකි. එහෙත් ඔවුන් අප හා අභිමුඛ වන්නේ වෙස් මුහුණු ඉවත් කර ගැනීමෙන් අනතුරුවය. වෙස් මුහුණු ඉවත් කර ගැනීම මගින් අපට ඒ චරිතවල හැබෑ ස්වරූපය හඳුනා ගැනීමට හැකිවෙතැයි අඟවනු ලැබෙන්නේ යයි සිතමි. අශෝකමාලා, සාලිය, ගාමිණී, අනෝජා, නන්දිමිත්‍ර, සුකුමාල සංජේ, සිවනන්දන්, පරමේශ්වරී, මංගල හපුආරච්චි සහ මමා ජිනා යන අය අතර ගොඩනැගෙන සම්බන්ධතා ඔස්සේ නාට්‍ය ගලායයි. මමා ජිනා යනු මෙම නාට්‍යයෙහි සුවිශේෂී චරිතයකි. ඇය සමාජශාලාවක අධිපතිවරිය මෙන් ම පිළිගැනීමේ නිලධාරිනිය ද වන කාන්තාවකි. ඇය මෙම නාට්‍යයේදී රංගපූරියද වේ. නාට්‍යය ආරම්භ කරමින් ප්‍රේක්ෂක පිරිස පිළිගන්නේත් එක් එක් චරිතය හඳුන්වා දෙමින් වේදිකාව වෙත කැඳවා ගෙන එන්නේත් ඇයයි. එක් අතකින් ඇය ශෛලීයගත නාට්‍යවල පොතේගුරුට සමානය. අනෙක් අතින් ඇය පොතේගුරුට අසමානය. ඒ ඇය නාට්‍යයේ කතා පුවතට සම්බන්ධ චරිතයක් ද වන නිසාය. ඇය විසින් වේදිකාවට කැඳවාගෙන එනු ලබන චරිත නොහොත් පාත්‍රවර්ගයා ප්‍රේක්ෂකයන් වෙත අභිමුඛ වන්නේ තමන්ගේ වෙස් මුහුණ ඇය අතට දීමෙන් අනතුරුව ය. මේ ශිල්පීය උපක්‍රමය මගින් නාට්‍යයේ මුඛ්‍යාර්ථය ගම්‍යමාන වන්නේය. මිනිසුන්ගේ හා ජීවිතයෙහි තත්‍ය ස්වරූපය විනිවිද දැකිය හැක්කේ ඔවුන්ගේ වෙස් මුහුණු ඉවත් කර බැලීමෙනි. පාත්‍රවර්ගයා ඔවුනොවුන් අතරේත් ප්‍රේක්ෂකයා අභිමුවේත් ගත කරන්නේ වෙස් මුහුණු පැළඳගත් ජීවිතයකි. ඔවුන් විවිධ ජීවන ගැටලු හා හැලහැප්පීම්වලට මුහුණ දෙන්නේ මේ වෙස්මුහුණු නිසා ය. ඔවුන් එකිනෙකා ඉදිරියේ එම වෙස්මුහුණු ගලවාගතයුතු ය. ඔවුන්ට තම අරමුණු සපුරාගත හැක්කේ එසේ කිරීමෙන් පමණි. ප්‍රේක්ෂකයා ද වෙස් මුහුණු ගලවා ගත යුතු ය. අවුලවන ලද යුද මානසිකත්වයෙන් ද වර්ගවාදයෙන් ද ආගම්වාදයෙන් ද කුල ‍භේදයෙන් ද උදාර මානව සම්බන්ධතාවන් ව්‍යාකූල කරනු ලැබූ අවිචාරවත් ජරාජීර්ණ සමාජයක් තුළ අසරණ භාවයට පත්වන අවාසනාවන්ත මිනිසුන් හා ගැහැනුන් පිළිබඳ තත්‍ය වූ ස්වභාවය ප්‍රේක්ෂකයින්ට ද අවබෝධ වනු ඇත. සත්‍ය ලෙස ම එය සංවේගික සන්ත්‍රාසයෙන් පිරි කතා පුවතකි.

මෙම නාට්‍යයෙහි එන අශෝකමාලා, සාලිය හා ගාමිණී මෙන් ම නන්දිමිත්‍ර ආදී පුද්ගල නාම මගින් අප මතකයට ගෙන එන්නේ ජනප්‍රිය පුරාණෝක්ති කතාවකි. ඒ කතාව ජනහද තුළ තැන්පත්ව ඇත්තේ ආදරය පිළිබඳ ආදර්ශයක් ලෙසිනි. එම පුද්ගල නාම මගින් මෙම නාට්‍යයේ මුඛ්‍ය සංසිද්ධිය වන නූතන පෙම් කතාවට ආහ්ලාදජනක උත්තේජනයක් ලබා දෙන්නේය. එසේ වුවද නාට්‍යයේ කථාවින්‍යාසය විකාශය වන්නේ එම පුරාවෘත්තය ඔස්සේ නොව වර්ගවාදී ම්ලේච්ඡ යුද්ධයකින් පරිපීඩිත මිනිසුන් හා ගැහැනුන් පිළිබඳ සංවේගික සන්ත්‍රාසය දනවන කතා පුවතක් ඔස්සේය. මෙහි එන අශෝකමාලා අප ඉතිහාසය තුළ සටහන්ව සිටින රොඩී කෙල්ල නොවේ. මෙහි එන අශෝකමාලා වසර 30ක් පුරා මෙරට ජන ජීවිතය අවුලෙන් අවුලට පත් කළ කුරිරු වර්ගවාදී යුද්ධයේ නියත ප්‍රතිඵලයක් වන, අවාසනාවන්ත ද්‍රවිඩ තරුණියකි. කලක් කොටි සංවිධානයේ සෙබලියක බවට පත්ව සිටි ඇය පසුව කොටි සංවිධානයෙන් වෙන්ව ප්‍රභාකරන්ගේ මෙන්ම හමුදාවේ තර්ජනයෙන් බේරී සිංහල තරුණියකගේ ‘වෙස්මුහුණ’ පැළඳ ගෙන කොළඹ කැරොකේ රාත්‍රී සමාජ ශාලාවක ගී ගයන්නියක ලෙස දුෂ්කර ජීවිතයක් ගෙවයි. ඒ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අවශ්‍යව ඇති මුදල උපයා ගැනීමේ අභිප්‍රායෙනි. ඇන්ටික් ව්‍යාපාරය මගින් කෝටිපතියකු වී සිටින ගාමිණී නම් මසුරු සිටාණන් කෙනෙකුගේ පුත්‍රයා වන සාලිය ‍නම් ප්‍රේමාතුර තරුණයා ඇයට මුණගැසෙන්නේ එම රාත්‍රී සමාජශාලාවේදී ය. ගාමිණීගේ සුවච කීකරු රියැදුරා අශෝකමාලාගේ සොහොයුරා බව හෙලිවන්නේ ඔහු පැලඳ සිටින වෙස්මුහුණ ගැලවූ පසුවය. ඔවුන්ගේ පවුලේ සියලු දෙනා යුද්ධය පවතින අවස්ථාවේ බෝට්ටුවක නැගී පලායමින් සිටියදී අතුරුදහන්ව ඇතැයි සැලකුනත් වෙස්මුහුණු පැලඳගෙන මේ සමාජය තුළ ජීවත් වන බව අවසානයේදී හෙලිවන්නේ ප්‍රේක්ෂකයින් විශ්මයට පත් කරවමිනි. මංගල කපුආරච්චි විසින් ගෙනඑනු ලබන විවාහ යෝජනාවක් අනුව සිය පු‍තාගේ පෙම්වතිය වන අශෝකමාලා විවාහ කර ගැනීමට ගාමිණී සූදානම් වෙයි. එහෙත් අවසානයේදී සියල්ලන්ගේම වෙස්මුහුණු ගැලවී යාමෙන් පසු එතෙක් අවුලෙන් අවුලට පත්ව ආ ගැටලු නිරාකරණය වී සිංහල, දෙමළ පවුල් දෙකක් සහජීවනයෙන් යුතුව එක්වෙති. මේ නාට්‍යය මගින් යුද්ධයේ කුරිරු බවත් සහජීවනයේ අසිරිමත් බවත් කියැවෙයි.

පශ්චාත් නිදහස් යුගය තුළදී බලකාමය නිසා ශ්‍රී ලාංකේය දේශපාලන ප්‍රභූත්වය විසින් අහිංසක ජනතාව භේද භින්නකොට රට අගාධයට ඇද දමා ඇති ඓතිහාසික පසුබිම නූතන පරපුරේ අවධානයට ලක් කිරීමට ශූර නාට්‍යකරුවකු ලෙස ලූෂන් බුලත්සිංහල ගත් වෑයම මැනවින් ඉටුවී ඇති බව සඳහන් කළ හැකිය.

මෛත්‍රිය, දයාව හා කරුණාව බුද්ධ දර්ශනයේ පදනමයි. ලෞකිකත්වය හමුවේ එය ආදරයයි. කැපකිරීමෙන් තොර ආදරයක් නැත. ජාති, ආගම් හා කුල වශයෙන් වෙස් මුහුණු බැඳ ගනිමින් මෛත්‍රිය, දයාව හා කරුණාව යටපත් කිරීම මනුෂ්‍යත්වයට නිගාවකි. එකිනෙකා කෙරෙහි ආදරයෙන් කැපකිරීමට සූදානම් වීම බව ලූෂන් අපට අවධාරණය කරන්නේ මහා ශෝකාන්තයක් විය හැකි ජීවන පුවතක් සුඛාන්තයක් බවට පත් කරමින්ය.

මෙම නාට්‍යය සංගීතමය නාට්‍යයක් ලෙස හඳුන්වා දිය හැකි යැයි සිතමි. නාට්‍යයේ කතා වින්‍යාසය දිගහැරීමේදී සංගීතය මෙන්ම රංගනයද අර්ථ පූර්ණ ලෙස යොදා ගෙන ඇති බව කිව යුතුය. නාට්‍යයේ සාර්ථකත්වයට හර්ෂ බුලත්සිංහලගේ නිර්මාණශීලී දායකත්වය අතිශයින් ප්‍රයෝජනවත් වී ඇත. නර්තන ලීලා නිර්මාණය කළ ජෙරොම් ද සිල්වාත් රංග වස්ත්‍ර නිර්මාණය කළ සුනීතා පෙරේරා හා ඉරේෂා ජානකීත් උපරිම දායකත්වයක් ලබාදී ඇති බව සටහන් කළ යුතුය.

‘වෙස්මුහුණ ගලවන්න’ යනු මෙරට සතරදිග්භාගයේ ජනතාව වෙත ගෙන යා යුතු හා රසිකයින්ගේ මෙන් ම විචාරකයින්ගේ ද සුවිශේෂී අවධානයට හා සම්භාවනාවට යොමු විය යුතු නාට්‍ය නිර්මාණයක් බව මගේ මැඟීමයි.

ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ.

නව අදහස දක්වන්න