කෘෂි බෝග නිෂ්පාදන පිළිබඳ දත්ත ගබඩාවක් ස්ථාපිත කරනවා | දිනමිණ

කෘෂි බෝග නිෂ්පාදන පිළිබඳ දත්ත ගබඩාවක් ස්ථාපිත කරනවා

බුද්ධිකා ඉඹුලාන

ගොවියාට, වෙළෙන්දාට, පාරිභෝගිකයාට කෘෂි බෝග නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ දත්ත ගබඩා කිරීමේ වැඩපිළිවෙළක් ස්ථාපිත කරන බව කෘෂිකර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා කියයි.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් ගොවීන් අතරට ගෙනයාම සඳහා යාන්ත්‍රණයක් අවශ්‍ය බවද ඇමැතිවරයා කීය.

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය.

එහිදී ඇමැතිවරයා පැවැසුවේ, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් බොහොමයක් සිදු වන නමුත් ඒවා සමාජය වෙත නිසියාකාරයෙන් සම්ප්‍රේෂණය වීමක් සිදුනොවන බවයි.

විශේෂයෙන් ගොවීන් වෙත මෙම දැනුම ගෙන යා යුතුයි. නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගත යුතුයි. ඒ නිසා නවීන තාක්ෂණය සහ නව සොයාගැනීම් ගොවීන් වෙත ගෙනයාම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතා වැදගත්.

කෘෂිකර්මය පිළිබඳ දැනුම සහිත නිලධාරීන් කොපමණ සිටියත් ගොවීන් ඔවුනගෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. වගාවට අවශ්‍ය පොහොර, රසායනිකද්‍රව්‍ය පිළිබඳ වෙළෙන්දාගෙන් විමසීමටයි ගොවීන් පෙළඹෙන්නේ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. කෘෂිකර්ම උපදේශකවරුන් සහ ගොවීන් අතර මනා සම්බන්ධතාවක් පවත්වාගැනීමෙන් මෙම ගැටලුව විසඳා ගත හැකියි.

රටේ වගා කරන බෝග පිළිබඳ නිවැරදි තොරතුරු අප සතුව තිබිය යුතුයි. ගොවීන් වගා කරන්නේ මොනවාද, කොපමණ ප්‍රමාණයක් වගා කරනවා ද යනාදී වශයෙන් එම තොරතුරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම ගොවියාට, වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටත් ඉතා වැදගත්.

රසායනික පොහොර භාවිතයේ දී ගොවීන් ඉවක් බවක් නොමැතිව කටයුතු කරන ආකාරයක් පෙනෙනවා. අනවශ්‍ය ආකාරයෙන් පොහොර එකතු කිරීම නිසා වැව් විනාශ වෙනවා. එයින් ජලාශවල බැරලෝහ තැන්පත් වනවා. පසට යොදන පොහොර වැව්වලට එකතුවීමෙන් වැව්වල ඉතා ශීඝ්‍රයෙන් සැල්වීනියා, ජපන්ජබර වැනි ආක්‍රමණික ශාක ව්‍යාප්ත වෙනවා.

ආහාර බෝග පිටරටින් ආනයනය කිරීම අවම කිරීමටත් අපි පියවර ගත යුතුයි. හැකි පමණ අපට අවශ්‍ය දේ රටේම නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් දැනට ආනයනය කරන බඩඉරිඟු හා මුංඇට වැනි ධාන්‍ය විශේෂ මෙරට අවශ්‍යතාව මත නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු මෙරටම නිෂ්පාදනය කරන්න අවශ්‍ය පියවර ගන්න කියා දැනටමත් මම කෘෂි නවීකරණ වැඩසටහනට උපදෙස් දුන්නා.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්වූහ.

නව අදහස දක්වන්න