2019 ‘FACETS’ ප්‍රදර්ශනය මෙවරත් | දිනමිණ

2019 ‘FACETS’ ප්‍රදර්ශනය මෙවරත්

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘FACETS’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මෙවර එහි 29 වැනි පියවර ලෙස අගෝස්තු මස අවසානයේ කොළඹ BMICH පරීශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා අැත.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA)සහ අපනයන ප්‍රවර්ධන මණ්ඩලයේ (EDB) සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වාදීම හා සැපයීම මූලික අරමුණ කොටගෙන වාර්ෂික ‘FACETS’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මෙවරත් සංවිධානය කරනු ලබයි.

මෙවරද ‘FACETS’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මැණික් ව්‍යාපාරිකයන්, මැණික් ඔපදමන්නන්, අපනයනකරුවන්, තොග හා සිල්ලර වෙළෙඳ ප්‍රජාව හා නිෂ්පාදකයින් මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කාර්මික හා තාක්ෂණික උපකරණ හා සේවාවන් සපයන්නන්ද රසායනාගාර හා සහතිකකරණ සේවයේ නියැලි ආයතනයන්ද, ක්ෂේත්‍රයේ අධ්‍යාපනික හා පුහුණු කිරීම් සේවා සපයන ආයතනයන් වැනි මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය හා සබැඳි පාර්ශ්වයන් රැසක් එක් ස්ථානයකට රැස් කරන දැවැන්ත කටයුත්තක් ලෙස සංවිධානය කෙරේ . ‘FACETS’ ඉතිහාසයේ පළමු වරට හෙට්ටි වීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් ද මෙවර එක්වන අතර සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යනා දී වශයෙන් පුළුල් පරාසයක ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් මෙවර ද සහභාගී වන හෙයින් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන සියල්ලන් උදෙසා මිල දී ගැනීමේ අවස්ථා රැසක් උදාවේ. සුපුරුදු පරිදි මෙවරත් ‘FACETS’ තුළින් ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යාපනික වටිනාකමක්ද එක්කොට තිබීම විශේෂත්වයකි.

මෙවර ප්‍රදර්ශනය වෙත වැඩි ජනතා අවධානයක් ලබාගැනීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර වැඩිවශයෙන් විදේශීය තොග ගැනුම්කරුවන්, සංචාරකයන් හා අප රටේ රැඳී සිටින විදේශිකයන් ප්‍රදර්ශනයට සහභාගීකරවා ගැනීම ‘FACETS’ සංවිධායකයන්ගේ බලාපොරොත්තුවයි. පසුගිය කාලයේ මෙරට ඇතිවූ අවාසනාවන්ත සිදුවීම් පෙළ නිසා සංචාරක ව්‍යාපාරය හා අනෙකුත් ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි ඇති වූ පසුගාමී තත්ත්වයට පිළියමක් වශයෙන්, ශ්‍රී ලංකා ආර්ථිකය යළි නංවාලීමේ අරමුණ ඇතිව පසුගිය වසරවල මෙන්ම මේ වසරේදීත් නොවෙනස්ව සහභාගී වන්නට විදේශීය ගැනුම්කරුවන් හා ප්‍රදර්ශකයන් රැසක් සූදානමින් සිටිති.

නව අදහස දක්වන්න