ලිව්වේ සීයට පළවුණේ නවකතාවක | දිනමිණ

ලිව්වේ සීයට පළවුණේ නවකතාවක

ඉසබෙල් අයියන්දේ

ඉසබෙල් අයියන්දේ ස්පාඤ්ඤ ජාතික ලේඛිකාවකි. The House of the Spirits, Eva Luna, Zorro, Ripper, The Japanese Lover, Paula ඇගේ ප්‍රකටම නවකතාය. ලෝකය පුරා වැඩියෙන්ම කියැවූ ස්පාඤ්ඤ ජාතික ලේඛිකාව ද ඇයයි. ඇගේ නවකතා මිලියන 56කට අධික පිටපත් ප්‍රමාණයක් විකිණී ඇති අතර භාෂා 30ට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත.

මම දවසකට පැය 10-12ක් ලියන කාමරේට වැදිලා නොනවත්වාම ලියනවා. කිසිම කෙනෙක් එක්ක කතා කරන්නෙ නෑ. දුරකතනයට උත්තර දෙන්න යන්නෙත් නෑ. ඒ වෙලාවට මාව යම් උපකරණයක් හරි මාධ්‍යයක් හරි බවට පත් වෙනවා. මාව ඉක්මවා යන සුළු සිදුවීම් දාමයක් මගේ වටේ සිද්ධ වෙමින් පවතින බව ඊළඟට මට දැනෙන්න ගන්නවා. ඒ කටහඬ මා හරහා කතා කරන්න පටන් ගන්නවා. ඉන් පස්සෙයි ප්‍රබන්ධමය ලෝකයක් නිර්මාණය කරන්න අවකාශය හැදෙන්නේ. නමුත් මේ ලෝකය මගේ අයිතිය යටතේ පවතින්නක් නෙවෙයි. මොකද මම දෙවියෝ නෙවෙයි, එක්තරා උපකරණයක් විතරයි. දෛනික ඉවසීමෙන් වගේම ලිවීමේ ව්‍යායාමයෙන් මට මගේ ජීවිතේ කලින් නොපෙනුන සමහර ගති ලක්ෂණ පේන්න ගන්නවා. ඒවායින් මම ඉගෙන ගන්නවා. හැබැයි මම ලියන්නෙ මොනවද කියලා මම දන්නෑ. ලිවීම හරිම අමුතු ක්‍රියාවලියක්. ප්‍රබන්ධමය බොරුවක් ඇතුළේ කෙටි කාලයක් ජීවත් වෙන එකෙන් මගේ ජීවිතේ ඉතාම කුඩා ඇත්ත කාරණා හොයාගන්න මට පුළුවන් වෙනවා

මම ඉතාම හොඳ ඇහුම්කම් දෙන්නෙක්. ඒ වගේම කතා දඩයම්කරුවෙක්. හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ හැම කතාවක්ම සිත්ගන්නාසුළු තානයකින් කීමයි වැදගත් වෙන්නේ. මම පත්තර කියවනවා. පත්තරේ අහුමුල්ලක තියෙන පොඩි ප්‍රවෘත්තියකින් පවා නවකතාවක් ලියන්න පෙළඹවීමක් ලැබෙන්න පුළුවන්. ස්පාඤ්ඤ භාෂාවෙන් විතරයි මට ප්‍රබන්ධ ලියන්න පුළුවන්. මගේ මවු භාෂාවෙන් ලිවීමේ ඓන්ද්‍රිය සම්බන්ධයක් තියෙන නිසා වෙන්න ඕනා එහෙම හිතෙන්නේ.

චරිතයක් නිර්මාණය කරද්දි මම හොඳට දන්න පුද්ගලයෙක්ව ආදර්ශකයක් වගේ අරගන්නවා. යම් පුද්ගලයෙක් මනසේ ඉන්නකොට ඔහුව ආදර්ශයක් විදිහට සලකලා විශ්වාස කළ හැකි මට්ටමේ චරිතයක් මැවීම ලේසියි. මිනිස්සු හරිම සංකීර්ණයි, ආකූලයි. හැම ගති ලක්ෂණයක්ම ඔවුන් පෙන්වන්නේ කලාතුරකින්. නවකතාවක නිර්මාණය කරන චරිතත් ඒ වගේම වෙන්න ඕනා. මගේ නවකතාවල ඉන්න චරිතවලට එයාලගෙම ජීවිතයක් ගතකරන්න මම ඉඩ දීලා තියෙන්නේ. කොච්චරද කියනවා නම් සමහර වෙලාවට හිතෙනවා ඒ චරිත මගේ පාලනයෙන් තොරයි කියලා. සමහර වෙලාවට කතාව වෙනත් පැතිවලට හැරෙවෙනවා මට පේනවා. මට පැවරිලා තියෙන රාජකාරිය කතාවට ඕන විදිහට ලියවෙන්න අරින එකයි. එහෙම නැතිව මම කලින් හිතන් හිටපු මාර්ගය දිගේ කතාවේ චරිතවලට යන්න පොළඹවන එක නෙවෙයි.

මම නිතරම සටහන් ලියනවා. මගේ පසුම්බියේ නිතරම සටහන් පොතක් තියෙනවා. උනන්දුසහගත දෙයක් දැක්කොත් හරි ඇහුණොත් හරි මම ඒ ගැන සටහනක් ලියාගන්නවා. පත්තරවල යන ප්‍රවෘත්ති කපලා ෆයිල් කවරයක දාලා තියාගන්නවා. රූපවාහිනියේ දකින ප්‍රවෘත්ති ගැන පොඩි සටහන් ලියාගන්නවා. මිනිස්සු මට කියන කතන්දරත් සටහන් පොතක ලියාගන්නවා. නවකතාවක් ලියන්න ලෑස්ති වුණාම කලින් ලියලා තියාගත්ත සටහන් ඔක්කොම එළියට ඇදලා ගන්නවා. ඊට පස්සේ දළ සැකිල්ලක් හදාගන්නෙ නැතිවම පරිගණකයෙන් ලියාගෙන යනවා. ඒ ලිවීම ගමන් කරන්නේ මගේ ඉව දිගේයි. කම්පියුටර් තිරයේ සම්පූර්ණ කතාවම සටහන් වෙලා ඉවර වුණාට පස්සේ මුද්‍රිත පිටපතක් ගන්නවා. ඊටත් පස්සේ නිදහසේ ඒක කියවනවා. ඔන්න එතක්කොටයි මම හරියටම කතාව දැනගන්නේ. පොතේ දෙවෙනි සංස්කරණය සම්පූර්ණයෙන්ම රදා පවතින්නේ භාෂාව, රිද්මය, තානය වගේම ආතතිය මතයි.

නවකතාවකට හොඳ අවසානයක් තියෙන්න ඕනා කියලා මම විශ්වාස කරන්නෙ නෑ. විවිධ නවකතාවල ස්වාභාවය එක්කයි කතාවෙ අවසානය තීරණය වෙන්නේ. විශේෂයෙන්ම කෙටිකතාවලදී යෝග්‍ය එක අවසානයයි තියෙන්නේ. ඒ වගේම ඒ අවසානය මොකක්ද කියලත් කලින් ඉදන්ම මම දන්නවා. කෙටිකතාවක් හරියට ඊතළයක් වගෙයි. ඊළතලය යන මාර්ගය මුල ඉදන්ම දැනගෙන ඉන්න ඕනා. ඉලක්කය ගැනත් පූර්ණ අවබෝධයක් තියෙන්න ඕනා.

නවකතාවක් සම්බන්ධයෙන් මේ ඔක්කොම කරුණු උඩුයටිකුරු වෙනවා. නවකතාවක ඊළඟට මොකද වෙන්නෙ කියලා කවදාවත් දැනගන්න ලැබෙන්නෙ නෑ. නවකතාවක් ලිවීම ඇතුළේ තියෙන්නේ අසාමාන්‍ය ඉවසීමක් සහ දෛනික ලිවීමේ ව්‍යායාමයක්. ඒක හරියට විවිධ වර්ණවලින් ගෙත්තමක් එම්බ්‍රොයිඩර් කරනවා වගෙයි. එතනදි වැඩකරන්න වෙන්නෙ හරිම හෙමින්. ගෙත්තමේ මෝස්තරය මොකක්ද කියලා හරියටම දැනගෙන හිටියත් එක මොහොතක වැටහෙන්න ගන්නවා ඇත්තම මෝස්තරය ඊට වඩා වෙනස් කියලා. ඒ ක්‍රියාවලිය ඇතුළේම ජීවී බවක් තියෙන නිසා ලැබෙන අත්දැකීම ඉතාම විචිත්‍රයි.

නමුත් කෙටිකතාවේදී පාලනයට සියලුම බලතල කතුවරයාට ලැබෙනවා. ඒ නිසාම ඉතා හොඳ කෙටිකතා කිහිපයක් සහ අති විශිෂ්ට නවකතා රාශියක් අපිට ලැබිලා තියෙනවා. කෙටිකතාවකදි වැඩිපුරම වැදගත් වෙන්නේ කතාව කියන විදිහ මිසක් කියන කතාව මොකක්ද කියන එක නෙවෙයි. නවකතාවකදි ඔබට වැ‍රැදි කීපයක් අහු නොවී කරන්න පුළුවන්. ඔබ කරපු වැ‍රැදි අහුවෙන්නෙ හරිම සීමිත පිරිසකට විතරයි. මගේ නවකතාවලදී සතු‍ටුදායක අවසාන මාව සතු‍ටු කරන්නෑ. මම කැමතියි විවෘත අවසානයකට යන්න. පාඨකයන්ගේ සිතීමේ අවකාශය මම තදින්ම විශ්වාස කරනවා.

ලතින් අමෙරිකානු සාහිත්‍යයේ ආභාෂය මට තදින්ම දැනුණා. ගාර්ෂියා මාකේස්, වාර්ගස් ලෝසා, කෝටසාර්, රුල්ෆෝ, අමාඩෝ ඒ අතරේ විශේෂයි. දොස්තොව්ස්කි, ‍තෝල්ස්තෝයි, චෙකොව්, නබකොව්, ගොගොල් වගේ රුසියානු ලේඛකයෝ විශාල ප්‍රමාණයකිනුත් ලොකු ආභාෂයක් මට ලැබුණා. ඒ වගේම වෝල්ටර් ස්කොට්, ජේන් ඔස්ටින්, බ්‍රොන්ටේ සහෝදරියෝ, චාර්ල්ස් ඩිකන්ස්, බර්නාඩ් ෂෝ, ඔස්කාර් වයිල්ඩ්, ජේම්ස් ජොයිස්, ඩී.එච්. ලෝරන්ස්, වර්ජිනියා වුල්ෆ්, අගතා ක්‍රිස්ටි, කොනන් ඩොයිල් වගේ ලේඛකයොන්ගෙ ආභාෂයත් මට අඩු නැතිව ලැබුණා. මාර්ක් ට්වේන්, ජැක් ලන්ඩන් වගේ අමෙරිකානු ලේඛකයොත් මට බලපෑවා. හාපර් ලී ගේ '‍ටු කිල් අ මොකින්බර්ඩ්' කියවලා මට ඇතිවුණ බලපෑම තාමත් මතකයි.

මම නවකතාවක් ලියන්න ගත්තට පස්සේ මාව ලෝක දෙකක අතරමං වෙනවා. මම ලියන්න යන කතාව මොකක්ද, ඒ කතාව ගලාගෙන යන්නෙ කොහේටද, ඇයි මම කතාව ලියන්නෙ කියලා නොදැනයි ලියන්න පටන් ගන්නේ. මම හොඳටම දන්න එකම දේ ලියන්න යන කතාවට අනියමින් මගේ සම්බන්ධයක් තියෙන බව විතරයි. ඒ කතාව ලියන්න මම ‍තෝරගත්තේ අතීතයේ හරි අනාගතේ දවසක මට වැදගත් වෙන්න පුළුවන් නිසයි. ලියන්න ගත්තට පස්සේ සංස්කරණය කරන එකෙනුත් ගැලවීමක් නෑ. භාෂාව සහ ආතතිය සම්බන්ධයෙන් සංස්කරණ කරන්නම සිද්ධ වෙනවා. නමුත් කතා සැකිල්ල කිසිම වෙලාවක වෙනස් වෙන්නෙ නෑ. මගේ නවකතාවල ඉන්න චරිතවලට එයාලටම කියපු ජීවිත තියෙනවා. ඒ නිසාම ඒ අයව පාලනය කරන්න බෑ. මට ඕන කරන්නෙ මේ චරිත සතුටින් ජීවත් වෙන්නයි. ඒ අයව විවාහ කරවන්න, දරුවෝ ලබමින් සදාකල් සතුටින් ජීවත් කරවන්නයි මම උත්සාහ කරන්නේ. නමුත් කිසිම වෙලාවක මම ප්‍රාර්ථනා කරන විදිහට කතාවෙ හැඩය පවතින්නෙ නෑ. කලින් කිව්වා වගේම සතු‍ටුදායක අවසානවලට මගේ නවකතාවල ඉඩක් නෑ.

මගේ දුව පෝලා හදිසියේම මිය ගියාට පස්සේ දීර්ඝ කාලයක් යනකන් මට අකුරක්වත් ලියන්න බැරි වුණා. මම පුරුද්දක් විදිහට අම්මට දිනපතා ලියුම් ලියනවා. දවසේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම වාර්තා කරලා තියෙන ක්‍රමයක් විදිහට මේ ලියුම් ලිවිල්ල මම අවිඥානිකවම පාවිච්චි කරනවා වෙන්නත් ඇති.

හැම ජනවාරි 08 වැනිදාවකම මම අලුත් පොතක් ලියන්න පටන් ගන්නවා. ජනවාරි 07 වෙනිදා වෙනකොට මම ඉන්නෙ අපායෙ දොරකොඩ. මුලින්ම මම ඊට ලකින් ලියපු පොත්වලට අදාළ සටහන් ඔක්කොම අයින් කරලා දානවා. මගේ මේසෙ උඩ තියෙන්න අරින්නෙ ශබ්දකෝෂ කීපයකුයි, මගේ පොත්වල පළමු මුද්‍රණ කීපෙකුයි, අලුත් පොත වෙනුවෙන් කරපු පර්යේෂණ තොරතුරුයි විතරයි. ජනවාරි 08 වෙනිදා උදේ මගේ මුළුතැන්ගෙයි ඉදන් පියවර 17ක් ඇවිදිමින් පූල් හවුස් එකේ තියෙන ලියන කාමරේට යනවා. ඒක හරියට වෙන ලෝකෙකට යන ගමනක් වගෙයි. ජනවාරි 08 කියන්නේ සීත කාලේ හොඳටම වැස්ස වැටෙන කාලයට. ඉතිං මම කුඩෙත් ඉහලගෙන යනවා. බල්ලත් මගේ පස්සෙන් එනවා. මුළුතැන්ගෙයි ඉදන් පියවර 17ක් ගෙවාගෙන ලියන කාමරේට යාම වෙනත් ලෝකෙකට, වෙනත්ම පුද්ගලයෙක් හැටියට ඇතුළු වීමක්. මම ලියන කාමරේට ඇතුළු වෙන්නෙම බයෙන් සහ උද්‍යෝගයෙන්. ඒ වගේම පොඩි බයකුත් හිතේ කැරකෙනවා. පළවෙනි-දෙවෙනි-තුන්වෙනි-හතරවෙනි සති නිකන්ම නාස්ති වෙලා යනවා. ඒත් මම දිගටම පරිගණකය ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා. නිතරම පෙනී හිටියට පස්සේ ලියන්න ඕනකරන උත්තේජනය ඉබේම ලැබෙනවා.

පෝලා මිය ගියාට පස්සේ මම අම්මට දිග ලියුමක් ලිව්වා. මිය ගියේ 1992 දෙසැම්බර් 06 වෙනිදා. 1993 ජනවාරි 07 වෙනිදා අම්මා මට ලියුමක් එව්වා. 'හෙට ජනවාරි 08. හෙට ලියන්න නොගත්තොත් ඔයා මැරෙයි' කියලා. ඊට පස්සේ පෝලා සිහිමුර්ජාවෙන් රෝහලේ ඉන්න කාලෙ මම අම්මට ලියපු ලියුම් 180ක් දීලා අම්මා කඩේ ගියා. පැය හයකට පස්සේ අම්මා ආයෙ ගෙදර එනකොට මම 'පෝලා' නවකතාවේ මුල් පි‍ටු කීපය ලියලා ඉවර කරලා කඳුළු ගංගාවක ගිලිලා හිටියේ. පෝලා ලිව්වේ කඳුළින්. හැබැයි ඒ සුවපත් කිරීමේ කඳුළු. පොත ලියලා ඉවර වුණාම මට දැනුණේ දුව මගේ හදවතේ ජීවත් වෙනවා කියලා. ඇගේ මතකය මගේ ළඟ ‍රැකුණා.

මම වෙනින්සියුලාවේ ජීවත් වෙනකොට 1981 ජනවාරි 08 වැනිදාවක දුරකතන ඇමතුමක් ලැබුණා. මගේ සීයා සැල්වදෝර් අයියන්දේ ට අසාධ්‍යයි කියලයි ඒකෙන් කියවුණේ. මම ඔහුට දීර්ඝ ලියුමක් ලිව්වා. ඒ ලියුම තමයි මගේ පළවෙනි නවකතාව, The House Of Spirits විදිහට පෙරලුණේ.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම් :

l http://bit.ly/2Y49Aoc

l http://bit.ly/2IOkh8k

l http://bit.ly/2ZwtfgV

l http://bit.ly/2WPblUS

l https://nyti.ms/2ImyIkW

නව අදහස දක්වන්න