මගේ වැඩවලට වයස බාධාවක් කර ගන්නේ නෑ | දිනමිණ

මගේ වැඩවලට වයස බාධාවක් කර ගන්නේ නෑ

පීටර් එස්. බීග්ල්

මෑතකදී ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ Summerlong නම් නවකතාවේ කතුවරයා වූ අමෙරිකානු ජාතික පීටර් එස්. බීග්ල් සමඟ, clarkesworldmagazine.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ. දැනට නිකුත් වී ඇති මොහුගේ කතාවල විශේෂත්වය වන්නේ, ඒවා සියල්ල සංගීතය පසුබිම් කරගත් නිර්මාණ වීම ය.

ඔබ නවකතා ලිවීමට අමතරව කරන වෙනත් කාර්ය මොනවාද?

මම මීට අමතරව කෙටි කතා, ගීත රචනය සහ නාට්‍ය පිටපත් රචනය සිදු කරනවා. මම මන:කල්පිත ප්‍රබන්ධ ලිවීමට ප්‍රසිද්ධයි.

ඔබට කතුවරයකු වීමට අවශ්‍ය වුණේ කුමන කාලයේදීද?

මට අකුරු ලිවීමටත් බැරි කාලයේ ඉඳන් තමා රචකයකු වීමට අවශ්‍ය වුණේ. මගේ අම්මා මට කියලා තියෙනවා, පුංචි ම අවදියේදී මම, මා විසින් ම ගොඩ නගපු විවිධ කතා කියනවලු. ඒ කතාව ලියන්න කියලා ඊට පස්සේ මම අම්මට කියනවලු. මම ටිකෙන් විට වැඩිමහල් වෙද්දි, මගේ ලිවීමේ ආශාවට වඩා, සංගීතය කෙරෙහි ලැදියාව වැඩි වුණා. Chet Atkins, Jerry Reed, Marcel Dadi වගේ ජෑස් ගිටාර් වාදකයකු වීම ගැන මම තවමත් සිතනවා, සිහින දකිනවා. ඒත් මම කතා නිර්මාණය සහ ලිවීමටත් දැඩි ලෙස ඇලුම් කරනවා. මම මේ වැඩ දෙකම සමබරව කරගෙන යනවා.

ඔබට අනුව සංගීතය සහ ලිවීම එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

මම සාමාන්‍යයෙන් ගොඩනගන හැම සිදුවීමක්ම, සංගීතමය ආකාරයකින් තමා දකින්නේ. විශේෂයෙන් ම ජෑස්. වැඩක් කරන වෙලාවකට මම සංගීතයකට හෝ ගීතයකට සවන් දෙන්නේ නැහැ. මට ඒ වෙලාවට ඇසෙන එක ම දේ, පරිසරයේ විවිධාකාර සංගීත රටා සහ මගේ මනස තුළ නිර්මාණය වන සංගීතය විතරයි. එය මගේ මනස එක තැනකට ගෙන එනවා වගේ ම, මගේ ලිවීම එක්තරා රටාවකට සකසනවා.

ඔබ වාදනය කරන සංගීත භාණ්ඩ මොනවද?

මම පියානෝ සංගීතය කියැවීමට ඉගෙනගෙන තිබෙනවා. ඒත්, මට පියානෝව වාදනය කිරීමටනම් හැකියාවක් නැහැ. ගිටාරය තමා මම වාදනය කරන එක ම සංගීත භාණ්ඩය. ගායනය තමා මගේ එක ම විනෝදාංශය සහ සතුට. මම දැනටත් මගේ වයස අවුරුදු 12 සිට ප්‍රංශ හෝටලයක සති අන්තයේ ගීත ගායනා කරනවා. මම ඒක මුල් කාලයේ කළේ මුදල් ලැබීමේ අරමුණින්. ඒත්, දැන් මම ඒක කරන්නේ, මගේ සංගීතය කෙරෙහි ඇති අසීමිත ආශාව නිසයි. මම බොහෝ විට ගායනා කරන්නේ, ප්‍රංශ ගායකයකු වූ Georges Brassens ගේ ගීතයි. මට, කුඩා සංගීත කණ්ඩායම් කරගෙන යන යහළුවන් බොහෝ පිරිසක් සිටිනවා. බොහෝ විට මම ඔවුන්ගේ වැඩවලට සහභාගී වෙනවා.

ඔබ විශ්වාස කරන්න, මට දැන් වයස අවුරුදු 80ක්. ඒත්, තවමත් මං මේ සියලු කාර්යන්හි හොඳින් නිරත වෙනවා. කරන සෑම වැඩක්ම මං කරන්නේ උපරිම තෘප්තියකින්. හරි ම සතුටකින් තමා මං ජීවත් වෙන්නේ. මගේ වැඩවලට, මගේ වයස බාධාවක් කරගෙන නැහැ . කාටවත් මගේ වයස ප්‍රශ්නයකුත් නෑ. මං මගේ වැඩ කොටස හැමදාම ඉටු කරනවා.

ඔබේ, Summerlong කෘතිය ලිවීම සඳහා පාදක වෙන්නේ කුමක්ද?

මම සියැටල් නගරයේ අවුරුදු 6 ක් පමණ ජීවත් වුණා. එහිදී වෙරළ ආශ්‍රිත පරිසරය සහ එහි ජනතාවගේ වෙනස්කම්, හැසිරීම් මගේ හිතේ සටහන් වී තිබුණා. පසු කලෙක ඒ පරණ මතක ඇසුරින්, ඒ පරිසරයත් බද්ධ කරගෙන තමා ‘සමර්ලෝන්ග්’ නිර්මාණය කළේ. ‘සමර්ලෝන්ග්’ කියන්නේ මගේ සාමාන්‍ය ලියන රටාවෙන් මදක් වෙනස් වූ රචනයක්. මම මීට කලින් කර තිබු නිර්මාණ මන:කල්පිත ප්‍රබන්ධ ගනයේ කෘති. ඒත් මෙය, සත්‍ය පරිසරය සහ සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වූවක්. කෙසේ වෙතත්, මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ඒ සඳහා ලැබුණා. තවමත් ලැබෙමින් පවතිනවා.

මේ ‘සමර්ලෝන්ග්’ කෘතියටත් වඩා ඔබගේ The Last Unicorn කෘතිය අතිශයින් ජනප්‍රිය වුණා නේද?

ඇත්තෙන්ම ඔව්. මං මේ වනවිට ග්‍රන්ථ බොහෝ ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. ඒ අතරින් ඉතාමත් ජනප්‍රිය වුණු, පාඨකයන් අතර බෙහෙවින් කතාබහට ලක් වුණු සහ වැඩි ම සම්මාන ගණනක් හිමි වූ නවකතාවක් විධිහට ඒක හඳුන්වන්න පුළුවන්. අදටත් එය ජනප්‍රියයි. මට ඒ වෙනුවෙන් Hugo, Nebula, Locus, සහ Mythopoeic Fantasy ආදී සම්මාන රැසක් හිමි කර ගත්තා. ඒ වගේ ම, මේ කෘතියේ නමින්ම ඇනිමේෂන් සිනමාපටයක් නිෂ්පාදනය වූවා. එහි තිරපිටපත් රචනය කළෙත් මා විසින්මයි.

නවකතා රචනයට අමතරව, තිර පිටපත් රචනයත් ඔබ කරනවා. මේ සඳහා යොමු වුණේ කොහොමද?

මේ අවුරුදු කිහිපයටම මම තිරපිටපත් ඉතා සුළු ප්‍රමාණයක් තමා රචනා කර තිබෙන්නේ. මට නම් දැනෙන්නේ, තවම මම ඒ සඳහා නවකයෙක් විධිහටයි. මේ සඳහා යොමු වන්නේ, මගේ මිතුරාගේ පෙරැත්තය මතයි. එය වෙනත්ම විෂයක්. මම ඒ පිළිබඳ තවමත් ඉගෙන ගනිමින් සිටිනවා.

ඔබ මේ දක්වා කොපමණ පොත් ප්‍රමාණයක් රචනා කර තිබෙනවාද?

මම පළමුවෙන්ම පොතක් ලියා පළ කළේ 1960 වසරේදීයි. ඒ, A Fine and Private Place කෘතිය රචනා කරමින්. එතැන් පටන් ග්‍රන්ථ 40කට අධික සංඛ්‍යාවක් රචනා කළා. ‘ද කැලිෆෝනියා ෆීලිං, ද ලාස්ට් යුනිකෝන්, අමෙරිකන් ඩෙනිම්, ද ලේඩි ඇන්ඩ් හර් ටයිගර්, ලිලා ද වර්වොල්ෆ්, ද ෆෝල්ක් ඔෆ් ද එයාර්, ටැම්සින්, අ ඩාන්ස් ෆො එමීලියා, ද ලයින් බිට්වීන්, රිටන්, ටූ හාර්ට්ස්, දි ඕවර්නීත්’ මගේ කෘති කිහිපයක් විධිහට සඳහන් කරන්න පුළුවන්. මේවායින් 5ක් ශ්‍රව්‍ය ග්‍රන්ථ. ඒ ‘ගියන්ට් බෝන්ස්, අ ෆයින් ඇන්ඩ් ප්‍රයිවට් ප්ලේස්’ ආදී ලෙසටයි.

මේ අතරින් ඔබගේ ඇතැම් ග්‍රන්ථ සිනමාවටත් නැගුණා නේද?

ඔව්. මගේ කෘති අටක් ඇසුරින් චිත්‍රපට නිෂ්පාදනය වූණා. ඒ අතරින් The Last Unicorn කෘතිය ඇසුරින් නිපදවුණු සිනමාපටය ඉතා වැදගත්.

ඔබට ලැබුණු සම්මාන පිළිබඳවත් කතා කරමු නේද?

මට මේ වනවිට සම්මාන 11ක් පමණ ලැබී තිබෙනවා. 2006, 2011, 2018 යන වසරවලදී වසරේ හොඳ ම කෘතිය වෙනුවෙන් පිරිනැමෙන සාහිත්‍ය සම්මානය, කෘති 3ක් වෙනුවෙන් හිමි වුණා. ඊට අමතරව ඉන්ක්පොට් , හියුගෝ , වර්ල්ඩ් ෆැන්ටසි, ලෝකස්, නෙබියුලා ආදී සම්මාන රැසක් හිමි වී තිබෙනවා.

ඔබගේ ඉදිරි කටයුතු මොනවාද?

මගේ මේ සංගීතමය වැඩ කටයුතු අතරතුර, තවත් පොත් 2ක් ලිවීමේ කටයුතු සිදු වෙනවා. ඒවා ඉදිරියේදී පැමිණේවි.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න