නායිකා චතුරංගි ජයසූරිය | දිනමිණ

නායිකා චතුරංගි ජයසූරිය

ඇයගේ ක්‍රීඩා විලාසය ඉතා ජවසම්පන්නයි. oh man, she is so agile ! ආසියානු නෙට්බොල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පැවති අර්ධ අවසාන පූර්ව තරගයේ අව සාන කාර්තුවේ දහහතර වන මිනිත්තුවේදී මැලේසියානු ගෝල්ඇටෑක් කරිෂ්මා විසින් සිය ෂූටර් වෙත යවන ලද පන්දුව ශ්‍රී ලංකාවේ ගෝල් ඩිෆෙන්ස් විසින් ගුවන් ගත වී ලබා ගත් ආකාරය දුටු තරග විචාරකගේ ප්‍රතිචාරයය. එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල් ඩිෆෙන්ස් ලෙස ක්‍රීඩා කළේ කවරෙකුත් නොව චතුරංගි ජයසූරියයි. අපි ඇයට චතූ යැයි කියමු. චතූ සිය කාර්යභාරය ඉටු කිරීමට සමස්ත තරගාවලිය පුරාම ගුවන්ගත වූ වාර ගණන අපමණය. වසර නමයකට පසු ආසියානු ශූරතාවය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එදා නායකත්වය දුන්නේ ඇයයි. එළඹෙන ලෝක ශූරතාවලියේදීද ඇය ජාතික කණ්ඩායමට නායකත්වය දෙනු ඇත.

ප්‍රශ්නය: පවුලේ අය ගැන කෙටියෙක් කියනවා නම්

පිළිතුර : අම්මයි තාත්තයි මල්ලියි නංගියි මගේ ස්වාමිපුරුෂයායි, මමයි

ප්‍රශ්නය: අධ්‍යාපන කටයුතු කළේ

කැලණියේ ධර්මාලෝක විද්‍යාලයේ. 2015 අවුරුද්දේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ගුවන්තරණය පිළිබද විද්‍යාවේදී උපාධිය ලබාගත්තා

ප්‍රශ්නය:කොහොමද නෙට්බෝල් ක්‍රීඩාවට පිවිසෙන්නේ පිළිතුර : පත්තරේ දැකපු දැන්වීමක් නිසා. මම අවුරුදු 19 වෙන කල්ම මලල ක්‍රීඩා තමයි කළේ. උස, දුර, තුම්පිම්ම ඉසව්. මම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. උස අඩි හයට වඩා වැඩි නෙට්බෝල් වලට කැමති ළමයි ඉන්නවා නම් කතා කරන්න කියලා දැන්වීමක් දාලා තිබුණා. ඉතින් ඒ දැන්වීම තමයි හැමදේම වෙනස් කළේ.

ප්‍රශ්නය: චතූ ගෝල රකින්නිය (Goal Defense) සහ රකින්නිය (Goal Keeper) වශයෙන් මොන වගේ වගකීමක් ද ඔබට තියෙන්නේ?

පිළිතුර : ගෝල රකින්නිය සහ රකින්නිය තමයි ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දුව හරවලා යවන්න පුලුවන් ක්‍රීඩිකාව. ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් ෂූට් කළොත් ඒක එයාලට ලකුණක්. මගේ වගකීම තමයි ප්‍රතිවාදී ගෝල් ආක්‍රමණය කරන්නියව (Goal Attack) රකින (defend) එක, පන්දුව හරවන එක. එහෙම හරව ගත්ත පන්දුව අපේ කණ්ඩායමේ ලකුණක් බවට පරිවර්තනය කරගන්න උපරිම සහය කණ්ඩායමට දෙන එක.

ප්‍රශ්නය: ඔබට ශ්‍රී ලංකාවේ ඉන්න හොඳම ගෝල රකින්නියක් වෙන්න පිටිවහල් වුණ සුවිශේෂී දක්ෂතා මොනවාද?

පිළිතුර : මම හිතන්නේ මගේ ඉපිලීමේ හැකියාව (jumping jskills) දරා ගැනීමේ හැකියාව (endurance) සහ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් ක්‍රීඩා තරග කරන ආකාරය පිළිබඳ පූර්ව අපේක්ෂා කිරීමේ හැකියාව (anticipation) වෙන විදියකට කියනවා නම් ප්‍රතිවාදීන් ඉළඟට පන්දුව දාන්නේ කාටද කොයි විදියට දායිද වගේ දේවල් ජාත්‍යන්තර මට්ටමේ සාර්ථක ගෝල රකින්නියක් හෝ රකින්නියක් කෙනෙක් වෙන්න ලොකු පිටිවහලක් වෙනවා.

සටහන - ධවිත්‍රා විතාරණ

නව අදහස දක්වන්න