සැමට සෙවණින් අත්තනගල්ල-රනිදුගම ජනතා අයිතියට | දිනමිණ

සැමට සෙවණින් අත්තනගල්ල-රනිදුගම ජනතා අයිතියට

ඉන්දියානු රජයයේ මූල්‍ය අනුග්‍රහයෙන් රට පුරා නව ආදර්ශ ගම්මාන ඉදිකිරීමේ වැඩසටහනේ ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ ඉන්දියානු රාජ්‍ය මූල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම අංගසම්පුර්ණ ආදර්ශ ගම්මානය වන ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රනිදුගම ආදර්ශ ගම්මාන ක්‍රියාදාමයේ 213 වන ආදර්ශ ගම්මානය ලෙසින් නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් හෙට (6) නිවාසලාභීන්ගේ අයිතියට පත්කෙරේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, මැතිවරණ කොට්ඨාසයේ, අසූව දශකයේ මෙරට ක්‍රියාත්මක වූ උදාගම් ව්‍යාපාරයෙන් නිර්මාණය වූ රන්පොකුණගම ආදර්ශ ගම්මානය ඇසුරෙහි රනිදුගම උදාවී තිබේ. ඉපැරණි රාජ්‍ය සමයේ රජුන් ස්නානය කළ පොකුණක් ඉදිකිරීම හේතුවෙන් මෙම භූමිය එදා රන්පොකුණගම නමින් නම්විය.

අසූව දශකයේ දී දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් සිය උදාගම් සංකල්පයෙන් දුගී දුප්පත් ජනතාවට සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීම අරමුණුකොට ක්‍රියාවට නැංවුණු ජාතික නිවාස වැඩසටහනට නව අරුතක් එක්කරලමින් මධ්‍ය ආදායම්ලාභීන් සඳහා ද නව නිවාස ව්‍යාපෘති ඉදිකරලීමේ වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක විය. එම ක්‍රියාදාමයෙන් ඉදිවූ ප්‍රමුඛතම නිවාස ව්‍යාපෘතියක් ලෙසින් අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ රන්පොකුණගම නිවාස ක්‍රමය හඳුන්වාදිය හැකි වේ.

අක්කර 282ක බිම් කොටසක නව නිවාස 1610 කින් සමන්විත වන අයුරින් ඉදිකෙරුනු රන්පොකුණගම නිවාස ව්‍යාපෘතිය, අභ්‍යන්තර මාර්ග, ජලය, විදුලිය, ප්‍රජාශාලා, ක්‍රීීඩාපිටි වැනි සියලු පහසුකම්වලින් සමන්විත අයුරින් ඉදිවූ අතර, මෙම නිවාස ව්‍යාපෘතිය උදාගම් ව්‍යාපාරයේ 408 වන ව්‍යාපෘතිය ලෙස එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතාගේගේ ආරාධනයෙන් ජනාධිපති ශ්‍රීමත් ජේ ආර් ජයවර්ධන මහතා 1986 මැයි මස 25 දින නිවාසලාභීන්ගේ අයිතියට පත් කළේය.

නිට්ටඹුව නගරාසන්නයේ වතුකරයක් ලෙසින් පැවැති මෙම භූමි භාගය ජනාවාසකරණයට ලක්වීම මෙම රන්පොකුණගම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීමත් සමඟින් ඇරඹි අතර, පසුකලක ගම්පහ දිස්ත්‍රිික්කයේ ප්‍රමුඛතම නාගරික ප්‍රදේශයක් බවට රන්පොකුණගම ප්‍රදේශය පත්වීමට මූලික හේතුව වූයේ, මෙම නිවාස ව්‍යාපෘතිය ස්ථාපිත වීමයි. ඉන් අනතුරුව රන්පොකුණගම නිවාස සංවර්ධන වැඩපිළි වෙළේ දෙවන සහ තෙවන අධියරේ කාර්යයභාරය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාලන කාලපරිච්ඡේදයේ දී සිදුවිය. වර්තමානය වනවිට රන්පොකුණගම නිවාස ව්‍යාපෘතිය හා ඒ අවට ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත ජනකායක් තම නිවහන්හි ජිවත්වන අතර, එය වර්තමානයේ අතිශය ජනාකිර්ණ නාගරික ප්‍රදේශයකි.

මෙම ප්‍රදේශය ඇසුරෙහි තමන්ගේම නිවහනකට හිමිකම් නොකියන, ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් හෙබි පවුල් සමූහයක් ජීවත්වන අතර, ඔවුන්ගේ නිවාස ගැටලුව, ඔවුන්ට මෙන්ම ප්‍රදේශයේ සෙසු ජනකොටස් සඳහා ද දැඩි ලෙසින් බලපෑම් සිදුකළ සමාජීය ගැටලුවක් විය. මේ සඳහා ඔවුන්ට පිහිටවූයේ වර්තමානයේ ක්‍රියාත්මක කරන සැමට සෙවණ ජාතික නිවාස වැඩපිලිවෙළයි. පසුගිය සිවු වසරකට අධික කාලපරිච්ඡේදයක් මෙරට නිවාස හා ජනාවාසකරණය විධිමත්කරලීමේ අරමුණින් ක්‍රියාත්මක සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ජනකොටස් හි නිවාස අවශ්‍යතාවන් සපුරාලීම අරමුණුකොට ක්‍රිියාත්මක වන්නා වූ සංවර්ධන වැඩපිළිවෙළකි.

ග්‍රාමීය ප්‍රදේශ මෙන්ම නාගරික හා වතුකරයේත් උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයේත් නිවාසකරණයේ විවිධ ක්‍රියාකාරකම් හා බැඳී පවත්නා සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළට පවත්නා ජන ආකර්ෂණය සහ එහි සැබෑ ක්‍රියාකාරිත්වය පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාව මෙන්ම ජාත්‍යන්තර පිරිස් හා රටවල ද විශේෂ අවධානය යොමුවී තිබේ. ඒ හේතුවෙන්ම මෙම වැඩසටහන ආරම්භ වී කලක් ගතවීමේ දී සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළට සිය අනුග්‍රහය හා දායකත්වය ලබාදීම විදේශීය රටවල හා ජාත්‍යන්තර සංවිධාන කැමැත්ත පළ කරේණි. මෙම ක්‍රියාදාමයේ දී ප්‍රමුඛතම දායකත්වයක් ලබාදුන් රටක් වනුයේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ වත්මන් අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂිත අවධානය සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළට යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනට සිය දායකත්වය ලබාදීමට ඉදිරිපත්විය.

2017 වසරේ සිට මෙම සුවිශේෂි දායකත්වය ඉන්දියානු රජය සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළට හිමිකර දුන්නේය. එකී වැඩසටහන යටතේ 2017 වසරේ දී ඉන්දීය රජය රට පුරා එක් ආදර්ශ ගම්මානයකට නව නිවාස 24 බැගින් සෑම දිස්ත්‍රිික්කයකම ආදර්ශ ගම්මානය බැගින් නව ආදර්ශ ගම්මාන 25ක් ඉදිකිරීමේ විශේෂිත වැඩසටහනක් ක්‍රියාවට නංවීය. එමෙන්ම එයට සමඟාමීව දකුණු පළාතේ තවත් නව ගම්මාන 25 ක් ඉදිකරලීමට ඉන්දියානු රජය දායකත්වය ලබාදුන් අතර, මෙම ආදර්ශ ගම්මාන සියල්ල ඉදිකරලීමෙන් ප්‍රතිලාභී පවුල් 1200කට සිය සහාය ලබාදුන් ඉන්දියානු රජය එම ක්‍රියාදාමය වෙනුවෙන් රුපියල් මිලියන 600ක මුදලක් වැයක කළේය. මෙලෙස ඉදිකෙරුනු සෑම නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් මූල්‍ය ප්‍රදානයක් ලෙසින් ප්‍රදානය කෙරුනු අතර, එම වැඩපිළිවෙළේ සැබෑ සාර්ථකත්වය හේතුවෙන් 2018 වර්ෂයේ දී මෙවන් නව ආදර්ශ ගම්මාන 50ක ඉදිකිරීම් කටයුතු සිදුකරලෙීම සඳහා ගිවිසුම්ගත වී කැමැත්ත පළකර ඒ සඳහා ද සිය මූල්‍ය දායකත්වය ලබාදීමට ඉන්දියානු රජය කටයුතු යොදා තිබේ. එම වැඩපිළිවෙළේ පවත්නා විශේෂිත ලක්ෂණය වනුයේ ඉන්දියානු රජය සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන සමීපව අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් පෙන්නුම්කර දී තිබුණේ දැනට සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ මෙරට ක්‍රියාත්මක කරන ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළට ජන සහභාගීත්වයෙන් යුත් අතිශය සාර්ථක වැඩසටහනක් වන හෙයින්, එම වැඩසටහන කිසිදු වෙනසක් සිදුනොකර,ඒ ආකාරයෙන්ම තම වැඩසටහන තුළ ද ක්‍රියාත්මක කරන ලෙසයි. මෙම ක්‍රියාදාමය තුළ ඉන්දියානු රජය අදාළ නිවාස ව්‍යාපෘතීන් සඳහා තෝරාගන්නා ප්‍රතිලාභීන්හට එක් නිවසකට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මූල්‍ය ආධාරයක් ප්‍රදානය කරයි. එමෙන්ම එම වැඩසටහන යටතේ සෑම නිවසක්ම තමන්ගේම නිවහනක් ඉදිකරගැනීමට ආර්ථිකමය වශයෙන් ශක්තියක් නොමැති දුගී දුප්පත් ජනතාව සඳහා හිමිකර දෙයි.

සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ රටේ සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක කරන ආදර්ශ ගම්මාන හා සමාන ලෙසින් ක්‍රියාත්මක මෙම වැඩසටහනෙන් හුදෙක් ඉදිවන්නේ නිවාස පමණක් නොව ජනාවාසයකට අවශ්‍ය නිවාස මුල්කොටගත් ජලය, විදුලිය, මාර්ග, වැනි පහසුකම් සමඟින් සියලු යටිතල පහසුකම් ද මෙම ගම්මාන සඳහා ද එක්වන අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ශ්‍රී ලංකා රජයයි.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන අද රට පුර සාර්ථකව ක්‍රියාත්මක වැඩසටහනක් වේ. 2015 වසරින් ඇරඹි මෙම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළට මේ වනවිට නව ආදර්ශ ගම්මාන 2500 කට අධික ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතී. එම ක්‍රියාදාමයට එක්වූ ඉන්දියානු ආධාර නව ආදර්ශ ගම්මාන ක්‍රියාවලිය ද අද සාර්ථක සංවර්ධන වැඩපිළිවෙළක් බවට පත්වී ඇත. එයින් පසුගිය දෙවරසක කාලයක් ඉදිකිරිම් සිදුකෙරුනු බහුතර ආදර්ශ ගම්මාන ප්‍රමාණයක මූලික ඉදිකිරීම් කටයුතු නිමවී තිබේ. එම සුවිශේෂි සංවර්ධන වැඩපිළිවෙළ තුළ අංගසම්පුර්ණ ලෙසින් උදාවූ නව ආදර්ශ ගම්මානයක් ලෙස ජනතා අයිතියට පත්කරන ප්‍රථම ආදර්ශ ගම්මානය වනුයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රනේපොකුණගම ඉදිවූ ,රනිදුගම, ආදර්ශ ගම්මානය යි.

රන්පොකුණගම ඓතිහාසික ජනාවාස භූමියේ ඉන්දියානු රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම ව්‍යාපෘතිය ඉදිකරලීම හේතුවෙන් මෙම නව නිවාස ව්‍යාපෘතිය රනිදුගම නමින් නම්කොට තිබේ. රනිදුගම ආදර්ශ ගම්මානය සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළේ සුවිශේෂීත්වයක් දරනුයේ හුදෙක් මෙය ඉන්දියානු රාජ්‍ය මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වූ ප්‍රථම ආදර්ශ ගම්මානය නිසාමය. එයටත් වඩා නව ජනාවාසයක පැවතිය යුතු අතිශය වැදගත් සමාජීය, ආර්ථික හා ගැටලු සමූහයක් මෙම නව ආදර්ශ ගම්මානය සතුවේ. නව නිවාස 24 කින් සමන්විත රනිදුගම, බහුතර නිවාස ප්‍රමාණයකට හිමිකම් කියන්නේ සිංහල ප්‍රතිලාභී පවුල් ය. එමෙන්ම ඔවුන් සමඟින් ද්‍රවිඩ සහ මුස්ලිම් ප්‍රතිලාභී පවුල් සමූහයක් එකලෙසින්ම තම නිවහන ඉදිකරගැනීම මෙහිලා දැකගත හැකි විශේෂිත ලක්ෂණයකි. එමෙන්ම ඔවුන් සියලුදෙනා ආර්ථික වශයෙන් බෙහෙවින් දුෂ්කරතාවන්ට මුහුණදෙන දුගී දුප්පත්කම, සිය දිවිපෙවෙත පුරා පැතිරී පවත්නා ජන කණ්ඩායමක් වීම ද මෙහිදී දැකගත හැකි විශේෂිත ලක්ෂණයකි. තමන් සතු ආර්ථික නොහැකියාව තමන්ගේ නිවහනක හිමිකම ලබාගැනීම සඳහා දායක කරගැනීම වෙනුවට තම ඕනෑකම, ආත්ම ශක්තිය ඒ සඳහා දායක කරගනිමින් ඉන්දියානු රජය ලබාදුන් මූල්‍ය දායකත්වයට තම ශ්‍රමය හා ඉතිරිකිරීම් ද එක්කරමින් රනිදුගම සියලු නිවාස ඉදිකරලීම මෙහිලා දැකගත හැකි ලක්ෂණයයි.

නිවාසකරණය මුල්කොටගත් ජනාවාස සංවර්ධනය ආරම්භයේ සිට නිවැරැදි දේශපාලන නායකත්වයක් යටතේ විෂයානුබද්ධිත ආයතනික මෙහෙයවීමෙන් සාමූහික දායකත්වයෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළකි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සෑම නිවාස ව්‍යාපෘතියකට ම නිවාස මෙන්ම ජනාවාසයකට අවශ්‍ය යටිතල පහසුකම් සමඟින් නිවසේ ජීවත්වන ප්‍රතිලාභීන්ගේ සමාජීය ආර්ථික විසඳුම් ලබාදීමට ක්‍රියාවට නැංවේ. සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ 213 වන ආදර්ශ ගම්මානය ලෙසින් ජන අයිතියට පත්කරන, රනිදුගම, ශ්‍රී ලාංකික නිවාස වංශකථාවට එක්වන්නේ, මෙරට ක්‍රියාත්මක වූ ජාතික සංවර්ධන වැඩසටහනක් ශක්තිමත්කරලීම සඳහා අසල්වැසි ඉන්දියානු රජය දැක්වූ සුහද දායකත්වයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙසිනි.

ලක්විජය සාගර පලන්සූරිය

නව අදහස දක්වන්න