ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය රාජකාරි අරඹයි | දිනමිණ

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය රාජකාරි අරඹයි

මහින්ද අලුත්ගෙදර

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් පත්කළ සරෝජා සිරිසේන මහත්මිය සිය ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භකර තිබේ.

වියානා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ඒ මහත්මිය නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භකර තිබෙන අතර පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් රාජකාරි කටයුතු ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙහිදී කාර්ය මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් සරෝජා සිරිසේන මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර තිබෙන සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් දේශපාලන සහ ආර්ථික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවයි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ වර්ධනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන ශ්‍රී ලංකා තානාපතිනිය ඔස්ට්‍රියාව සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බවද අද වන විට එය කාලීන අවශ්‍යතාවක් වී තිබෙන බවද සඳහන්කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන සරෝජා සිරිසේන මහත්මිය 1998 වසරේ දී විදේශ සේවයට එක්ව තිබෙන අතර එතැන් සිට මේ දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු, දකුණු ආසියානු සහ සාර්ක් අංශයන්හි අධ්‍යක්ෂවරිය වශයෙන් ද ආර්ථික කටයුතු, පොදු රාජ්‍යතාන්ත්‍රිකභාවය යන අංශයන්හි අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් ද අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව වශයෙන් ද කටයුතුකර ඇත.

ඊට අමතරව 2014 වසරේ ජූලි මාසයේ සිට පසුගිය 2018 වසරේ මාර්තු මාසය දක්වා ඉන්දියාවේ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල්වරිය වශයෙන් කටයුතුකර තිබෙන සරෝජා සිරිසේන මහත්මිය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් ද සේවයකර තිබේ.

සිය සේවා කාලය තුළ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක සේවය කර තිබෙන සරෝජා සිරිසේන මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා ඇමැතිවරිය වශයෙන් ද බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලක්ෂම්බර්ග් සහ යුරෝපා සංගමයේ ඇමැති උපදේශක වශයෙන් ද කටයුතු කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ අතර යුනෙස්කෝ හි ශ්‍රී ලංකා ජාතික කොමිසන් සභාවේ වැඩබලන ලේකම්වරිය වශයෙන් ද යුනෙස්කෝ හි නිත්‍ය නියෝජිත කන්ඩායමේ පළමු ශ්‍රී ලංකා ලේකම්වරිය වශයෙන් ද කටයුතු කර තිබෙන සරෝජා සිරිසේන මහත්මිය ඔස්ට්‍රේලියාවේ මේලබර්න් හි විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා තිබෙන අතර ප්‍රංශයේ එකෝල් ජාතික පරිපාලන ආයතනයෙන් පශ්චාත් උපාධියක් ලබා තිබේ. සරෝජා සිරිසේන මහත්මිය කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.

නව අදහස දක්වන්න