පමා වූ යුක්තිය | දිනමිණ

පමා වූ යුක්තිය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් තවත් සැකකරුවකු විද්‍යාත්මක සාක්ෂි මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙයින් කරුණු දෙකක් අනාවරණය වෙයි. පළමු කාරණය වන්නේ පරීක්ෂණ විධිමත් වන්නේ නම්; අපරාධකරුවන් අල්ලා ගැනීම අපහසු නොවන බව ය. දෙවන කාරණය වන්නේ රජය රටේ සිදුවන අපරාධ වැළැක්වීම සඳහා උපරිම අයුරින් කැපවීමක් සිදු කරන බව ය. උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සිදුවන්නේ 2009 ජනවාරි 23 දා ගම්පහ ඉඹුල්ගොඩ දී ය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුවන්නේ ආණ්ඩු මාරුවෙන් පසුව ය. මේ වන විට සිද්ධියට අදාළ සැකකරුවන් අට දෙනකු හඳුනාගෙන ඇත.

යුද්ධය පවතින සමය තුළ ද, යුද්ධය අවසන් වීමෙන් පසුව ද මාධ්‍යවේදීන්ට පහරදීම හා අතුරුදන් කිරීම දිගින් - දිගට ම සිදු විය. යුද සමය තුළ උතුරේ මාධ්‍ය‍වේදීන් දහතුන් දෙනකු අතුරුදන් වී ඇත. ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණ තව ම සිදු වී නැත. පත්‍රකලා සංගමයේ එවකට ලේකම්වරයා වූ පෝද්දල ජයන්ත මහතාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීම හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම මේ සිද්ධීන් අතර කැපී පෙනෙයි. සියලු සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ය. එහෙත් ආණ්ඩුව පෙරළා දමා අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ වුව යුක්තිය ඉටුවෙමින් පවතින්නේ ප්‍රමාද වීම් සහිතව ය.

එදා පැවැති මාධ්‍ය නිදහසේ තරම කෙතරම් ද යත්; පත්‍රකලා සංගමයේ සභාපති, ලේකම් හා කාරක සභා‍වේ බොහෝ දෙනෙක් ද රට හැර ගියහ. ඒ ජීවිතාරක්ෂාව පතා ය. එසේ රට හැර ගිය අයගෙන් කිසිවකු නැවත ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණ නැත. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා සිය බිරිය ද කැටුව අදටත් අමෙරිකාවේ ජීවත් වෙති. මානව හිමිකම් සංවිධාන හා ජනමාධ්‍ය සංවිධාන මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ශ්‍රී ලංකා රජයට එල්ල කළ අතර අදටත් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ පැවැති ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රධානියකුට ය. ඔහු දැන් දේශපාලනයට ද ප්‍රවේශ වී ඇත.

උපාලි තෙන්නකෝන් මහතාගේ සිද්ධියට අදාළ පරීක්ෂණ ගැන එක අතෙකින් සතුටු විය හැකිය. හේතුව සිද්ධියෙන් වසර දහයකට පසුව තවත් සැකකරුවකු අල්ලා ගැනීම නිසා ය. මේ සැකකරු 2014 සිට 2017 දක්වා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කර ඇත. ඔහු ජර්මනියට ගොස් ඇත්තේ සිය පවුල ද සමඟ ය. තානාපති කාර්යාලයක සේවයට හමුදා නිලධරයකු පත් කරන්නේ නම්; ඊට ඉහළම දේශපාලන සම්බන්ධතාවක් තිබිය යුතුය. අපරාධවලට දේශපාලකයන්ගේ ඇති සම්බන්ධය සේ ම එම අපරාධ වසා දැමීම සඳහා දේශපාලකයන් යොදන උපායමාර්ග පිළිබඳ අදහසක් ද මේ සිද්ධියෙන් උකහා ගත හැකි ය. සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයා හිටපු බුද්ධි අංශ නිලධාරියෙකි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඟිලි සලකුණු සැසඳීමේ උපායමාර්ගය අනුව ය.

ඉහත පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් බුද්ධි අංශයේ සේවයේ නියුතු සිය ගණනකගේ ඇඟිලි සලකුණු ද, උපාලි තෙන්නකෝන් මහතාගේ මෝටර් රථයේ ඇඟිලි සලකුණු ද සසඳා බලා ඇත. වසර දහයකට පසු ඇඟිලි සලකුණු සැස‍ඳෙන සැකකරුවා හමු වී ඇත. අපරාධ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කාලයත් සමඟ දුර්වල වෙයි. ඒවා දුර්වල වීමට එක් හේතුවක් වන්නේ රජයේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව අඩුවීම ය. වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ මාධ්‍ය නිදහස හා පුද්ගල නිදහස ස්ථාපනය කරන බවට පොරොන්දුවක් ලබා දෙමින් ය. ඒ අතර සමාජගත කළ තවත් අදහසක් වූයේ අතුරුදන් වූ හා පහරකෑමට ලක් වූ ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බව ය.

ජනමාධ්‍ය නිදහස ද පුද්ගල නිදහස ද වත්මන් ආණ්ඩුව යටතේ තහවුරු වී ඇතැ’යි කියන්නට සාධක තිබේ. එහෙත් අතුරුදන් වූ හා පහරකෑමට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් තව ම යුක්තිය ඉටු වී නැතැ’යි කියන්නට පුළුවන. ඒ පිළිබඳ පරීක්ෂණ පවා මන්දගාමී යැයි කීම බොරුවක් නොවේ. ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වූ සිදුවීම්වලට වගකිව යුතු පුද්ගලයන් ඇත්තේ ආරක්ෂක අංශවල යැයි චෝදනාවක් තිබේ. ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ද ආරක්ෂක අංශවලට අයත් ය. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ගැන ද, ඔවුනට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ද දේශපාලන විරෝධයක් මතු වී ඇත. එම විරෝධය පරීක්ෂණ ප්‍රමාද කිරීමට බලපා ඇතැ’යි කියන්නට පුළුවන.

ආරක්ෂක අංශවල නිලධාරීන් ද රටේ නීතියට යටත් විය යුතු ය. ඔවුන් කිසියම් අපරාධයක් සිදුකර ඇත්නම්; හමුදා නීතිය යටතේ එක අතෙකින් දඬුවම් ලැබිය යුතුය. තව අතෙකින් රටේ පොදු නීතිය යටතේ දඬුවම් ලැබිය යුතුය. ඒ දෙක ම ක්‍රියාත්මක නොවන්නේ නම් එබඳු රටකින් යුක්තියක් අපේක්ෂා කළ නොහැකි ය. එංගලන්තය, අමෙරිකාව වැනි රටවල් සිය සන්නද්ධ හමුදාවලට උපරිම පහසුකම් සපයන අතර ඔවුන් සිදු කරන අපරාධවලට කිසිදු සමාවක් ලබා දෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ සිදුවීම්වලදී අපරාධ මෙහෙයවන්නට ඇත්තේ ඉහළම පුද්ගලයකු බව පෙනී යයි. යුක්තිය නිසි ලෙස ඉටුවීමට නම්; ඉහළම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කළ යුතුය.

නිදහස් ජීවිතයක් සඳහා ගොඩනඟන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනමාධ්‍ය නිදහස උපරිමයෙන් පැවැතිය යුතුය. එහෙත් ගෙවීගිය දසක දෙකක පමණ කාලයේ දී ජනමාධ්‍ය නිදහස බරපතළ ලෙසින් උල්ලංඝනය වී ඇති කාල පරිච්ඡේදයක් තිබේ. නිල වශයෙන් ගතහොත් එය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය ලෙස හැඳින්විය හැකි ය. එය ජනමාධ්‍ය සම්බන්ධයෙන් බිහිසුණු කාලයකි. එදා ඇති වූ කළු පැල්ලම තවත් බොහෝ කාලයක් යන තුරු මකා දැමිය නො හැකි ය.

නව අදහස දක්වන්න