සංචාරකයන්ට වීසා ගාස්තු නැතිව පැමිණීමට අවස්ථාව | දිනමිණ

සංචාරකයන්ට වීසා ගාස්තු නැතිව පැමිණීමට අවස්ථාව

මෙරට සංචාරය කරන විදේශිකයන්ගෙන් වීසා ගාස්තු අය කිරීම මසක කාලයකට අත්හිටුවා තිබේ. මේ අනුව රටවල් 49 කින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා මෙම සහනය ලබාදීමට කටයුතු කරන බව සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පසුගියදා අරලියගහ මන්දීරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට විදෙස් තානාපතිවරුන් මෙන්ම විදෙස් මාධ්‍යවේදීහු ද සහභාගීව සිටියහ.

නොමිලයේ වීසා ලබාදීම සංචාරකයන්ට මෙන්ම ව්‍යාපාර හා ආයෝජන සඳහා මෙර‍ටට ප්‍රවේශ වන විදේශිකයන් වෙත පිරිනැමීමට මෙම මස පළමු වෙනිදා සිට 31 දක්වා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ඇමති ජෝන් අමරතුංග මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සංචාරක කර්මාන්තය යළි ගොඩනැගීමේ ක්‍රියාන්විතය ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව පැවසූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා පැවසුවේ සංචාරකයන් පැමිණීම සාර්ථක මට්ටමක පවතින බවයි. මැයි මාසයේ සංචාරකයන් 37000 ක් පැමිණ තිබුණත් එය ජූනි මාසය වනවිට 67000 බවට ඉහළ ගියා. ඒ අනුව 67% වැඩිවීමක් වී තිබෙනවා. ජූලි මාසයේ එය 11700 බවට පත් කිරීමට රජය විසින් දියත් කරන ලද සියලු ආකාරයේ ප්‍රචාරන කටයුතු මෙන්ම ගත්‍ කාලීන පියවර හේතු වූ බවත් හෝටල් ගාස්තු පහළ දැමීම. ගුවන් ‍තොටුපොළ ගාස්තු අවම කිරීම, ඉන්දන ගාස්තු චෙන්නායි මිලට ලබාදීමට පියවර ගැනීම වැනි හේතු වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම වර්ෂය තුළ සංචාරකයන් මිලියන 1.9 ත්, මිලියන 2ත් අතර ප්‍රමාණයක් අපේක්ෂා කරනවා.පසුගිය වසරේ පැමිණි ප්‍රමාණය මිලියන 2‍.3ක් පමණ වුණා. කෙසේ වෙතත් මේ වසරේ සිදුවිය හැකි පාඩුව මිලියන 800 සිට බිලියනයක් පමණ විය හැකියි. මෙම තත්ත්වය මුළුමනින්ම පහව යෑමට නම් මාස 13 ක පමණ කාලයක් ගතවේවි යැයි මා අදහස් කරනවා යනුවෙන් කිෂු ගෝමස් මහතා වැඩිදුරටත් පැවසීය.

සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා තෝරාගත් රටවල් සමඟ එක්ව හවුල් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ඉන්දියාව, ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය,ස්වීස්ටර්ලන්තය,එක්සත් රාජධානිය, මෙන්ම ඔස්ට්‍රියාව සමඟ සිදුකරන හවුල් ප්‍රවර්ධන වැඩසටහන් ඒ ඒ ර‍ටවල ගුවන් සමාගම්, හෝටල් සහ සංචාරක නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින් සිදුකරන බවත් මෙහිදී කරුණු ඉදිරිපත්වූ අතර මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා මෙරට සංචාරක ආකර්ෂණයට තුඩු දෙන අන්දමේ සංචාර 10 යක් සැලසුම් කර ඇති බවත් සඳහන්විය.මීට අමතරව සංචාරක ප්‍රවර්ධනය සඳහා විදෙස් වෙළෙඳ ප්‍රදර්ශන වැඩ සටහන් මෙන්ම අන්තර්ජාතික සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් නියෝජනය කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අපේක්ෂා කරන බවත් සඳහන් විය.

නව අදහස දක්වන්න