ජනපති මෛත්‍රී කාම්බෝජ අගමැති හමුවෙයි | දිනමිණ

ජනපති මෛත්‍රී කාම්බෝජ අගමැති හමුවෙයි

කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් (Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN) මහතා අතර හමුව පෙරේදා (08) පස්වරුවේ සිදුවිය.

කාම්බෝජයේ අග්‍රාමාත්‍ය කාර්යාලය වන සාම මන්දිරයේ දී ( Peace Palace හි දී) මේ හමුව සිදු වූ අතර, කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා ගෞරවයෙන් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය. ඡායාරූපය සුදත් සිල්වා


ජනපති කාම්බෝජයේ දී ආගමික වැඩසටහන් රැසක

ථෙරවාදී බුදු දහමින් පෝෂිත රටවල් ලෙස කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා තව දුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) කාම්බෝජයේ දී වැඩසටහන් කිහිපයකට එක් විය.

තායිලන්ත - කාම්බෝජ දේශසීමාව ආශ්‍රිතව පවතින කාම්බෝජයේ බෞද්ධාගමික අභිමානය ලෙස සැලකෙන සහ යුනෙස්කෝ ලෝක උරුමයක් ද වන අන්කෝර් (Angkor) පූජනීය නගරයේ සංචාරයකට ජනාධිපතිවරයා එක් වූ අතර කාම්බෝජ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ මාලිගයේ ඇමැති Samdech Chaufea Veang kong Som Ol මහතා ද ජනාධිපතිවරයා සමඟ ඊට එක්ව සිටියේය.

Siem Reap ගුවන් තොටුපළ වෙත පැමිණි ජනාධිපතිවරයා ඇතුළු පිරිස Siem Reap ප්‍රදේශයේ ආණ්ඩුකාර Tea Seiha මහතා ඇතුළු නිලධාරීන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

පුරාණ කාම්බෝජ වාස්තු විද්‍යා සම්ප්‍රදායට අයත් විශිෂ්ටතම නිර්මාණයක් වන අන්කෝර් වට් (AngkoWat) විහාරස්ථානයේ පළමුව ජනාධිපතිවරයා නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

හෙක්ටයාර් 170ක භූමි භාගයක ඉදිකර ඇති මේ විහාරස්ථානය 12 වැනි සියවසේ දී කාම්බෝජ සූර්යවර්මන් රජු විසින් කරවන ලද අතර ලොව විශාලතම සිද්ධස්ථානය ලෙස සැලකේ.

අනතුරුව අන්කෝර් නගරයේ පිහිටි Bayon විහාරස්ථානයේ ද ජනාධිපතිවරයා සංචාරයකට එක් විය.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ පදනම වන්නේ බුදු දහමයි. ථෙරවාදී බුදු දහම රැක ගනිමින් එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට මේ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ සහාය පළවීම ද විශේෂත්වයකි.

බෞද්ධාගමික වශයෙන් මෙන්ම කෘෂිකාර්මික වශයෙන් ද ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර අතීතයේ පටන් සමීප සබඳතා පවතින අතර, අන්කෝර් හි පිහිටි Artisan D angkor මධ්‍යස්ථානය සහ අත්කම් ප්‍රදර්ශන හා වෘත්තීය පුහුණු ආයතනය නිරීක්ෂණ කිරීමට ද ඉන් අනතුරුව ජනාධිපතිවරයා එක් විය.

නව අදහස දක්වන්න