ජනතා මුදල් වියදම් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තව තවත් වරප්‍රසාද දෙන්න මම කැමැති නෑ | දිනමිණ

ජනතා මුදල් වියදම් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තව තවත් වරප්‍රසාද දෙන්න මම කැමැති නෑ

රක්ෂණ ශ්‍රියන්ත

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඇති වරප්‍රසාදවලට අමතරව තවත් වරප්‍රසාද සඳහා අනුමැතිය ලබාදීමට මා එකඟ නොවන්නේ ජනතා මුදල් ඉසිය නොහැකි ආකාරයෙන් වියදම් කිරීමට මා අකමැති නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත පිළිගැන්වීමේ ජාතික උලෙළ පසුගියදා (6) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කෙළේය.

ශ්‍රී ලංකාව තුළ සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් දේශපාලන පක්ෂ හා මහජනතාව වෙත ඉදිරිපත් කිරීම අරමුණ කැර ගනිමින් මෙම උත්සවය සංවිධානය කැර තිබිණි.

එකී යෝජනාවලිය සකස් කැර ඇත්තේ ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලු ආගමික නායකයින් හා පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ එකඟත්වයෙනි.

අතිපූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමියන් සභාපතිත්වය දරන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මඟින් මෙම නිර්දේශ මාලාව සකස් කැර තිබේ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසිය.

බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලය, ඒ වගේම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, එක්ව ශ්‍රී ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදා කර ගැනීම උදෙසා වූ මේ ප්‍රකාශනය එළි දක්වන අවස්ථාවේ කෙටියෙන් හෝ වචන ස්වල්පයක් කතා කරන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

මේ කටයුත්ත සඳහා මූලිකත්වය සහ රටේ අභිවෘද්ධිය සඳහා නායකත්වය දී කටයුතු කළ වන්දනීය පුජනීය මහා සංඝරත්නයත් මීට අනුග්‍රහය දැක්වු සහ සහය වු අනෙකුත් විද්වතුන් ඇතුළු ඒ සියලු දෙනාටම රට සහ රටේ මහජනතාව වෙනුවෙනුත්, ආණ්ඩුව වෙනුවෙනුත්, මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. අපිට බොහෝ වේලාවට දේශපාලඥයා කියන වචනයත් සමඟම, දේශපාලන සංස්කෘතිය ඊට ඉතාම කිට්ටුවෙන් බැඳි වචන බවට පත්වී තිබෙනවා. අද මේ ඉදිරිපත් කරන ලද ප්‍රකාශනයෙහි දහවැනි පිටුවෙහි තිබෙන දෙවැනි යෝජනාව පිළිබඳව අවධානය යොමු කිරීම තිබෙන ප්‍රධානම කාර්යයක් බව මා මෙහි දී මතක් කරනවා.මානව සාරධර්ම සහ ගුණධර්ම, දේශිය සංස්කෘතිය සහ සභ්‍යත්වයට ගරු කරන මනා චරිතයකින් හෙබි, විනය ගරුක නීති ගරුක, ආදර්ශවත් පුද්ගලයින් සිය අපේක්ෂකයන් ලෙස නම් කිරීම සිදු කිරීම වැදගත් කියලා මෙහි සඳහන් කරලා තිබෙනවා.

මම හිතනවා අපි කතා කරන මෙහි බොහෝ ක්ෂේත්‍ර යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා මෙන්ම ප්‍රධාන වශයෙන්ම ක්‍රියාශීලි සමාජයක් ගොඩනැගීමට මේ කාරණාව මුල් වෙනවා කියලයි මම අදහස් කරන්නේ. ඔබ වහන්සේලා අනුශාසනය කළ පරිදි පසුගිය අවුරුද්දේ අල්ලස් සහ දූෂණ කොමිසන් සභාව එළි දැක්වූවා සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වූ ප්‍රකාශනය. අද ඔබ වහන්සේලා දේශපාලඥයින්ට, දේශපාලන ක්ෂේත්‍රයට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් සඳහා වූ ප්‍රකාශනයක එළි දක්වනු ලබනවා. ඇත්තෙන්ම අපේ රටේ පවතින නීති රාමුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ඇතැම් අඩුපාඩු ඒ වගේම මැතිවරණ නීතියේ තිබෙන අඩුපාඩුත් බොහෝ වෙලාවට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නැ‍ඟීමට බාධාවක් වී තිබෙනවා. මනාප ඡන්ද ක්‍රමය දේශපාලන සංස්කෘතියේ පරිහානිය ඇති කළ ප්‍රධාන කරුණ විදියට මා දකින දෙයක්. මිල මුදල් වියදම් කළහොත් විශේෂයෙන්ම චරිතවත් බව හෝ මේ කියන ආදර්ශයන් එහෙම නැත්නම් අධ්‍යාපනය ඒ කරුණු කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. ඇතැම් වෙලාවට අති විශාල මුදලක් වියදම් කරපුවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ සුපිළිපන් දේශපාලන සංස්කෘතිය පිළිබඳව කතා කරන විට වගේම සුපිළිපන් රාජ්‍ය සේවය පිළිබඳව කතා කරන විට ඔබ වහන්සේලා සඳහන් කළ බොහෝ කරුණු වැදගත්. ඇතැම් වේලාවට අපි දකින කාරණයක් තමයි හොඳ දැනුමක් තිබෙන හොඳ අධ්‍යාපනයක් තියෙන අයත් මේ වැරදි කරනවා. ඒක අපි දැකලා තිබෙනවා. රාජ්‍ය සේවය ගත්විට ඉහළම අධ්‍යාපනය තිබෙන ඉහළම දැනුම තිබෙන අය ඒ දැනුම සහ අධ්‍යාපනය, විශේෂයෙන්ම තමන් ලබාගෙන තිබෙන අත්දැකීම පාවිච්චි කරනවා වැරදි කරන්න. එතකොට දේශපාලන සංස්කෘතියේ දී ප්‍රධාන වශයෙන් අපට ඉතාමත් වැදගත් වන්නේ අනෙක් සියලු දෙනාට ආදර්ශවත් චරිතයි. ඒ නිසා ඔබ වහන්සේලා මේ ප්‍රකාශනය ඉදිරිපත් කිරීම දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින්ටත්, දේශපාලනයේ යෙදී සිටින සියලු දෙනාටත් ඉතාමත් වැදගත් මඟ පෙන්විමක්, උපදේශන මාර්ගයක් විදියටයි මම දකින්නේ. මේ කරුණු ක්‍රියාවට නංවනවා නම් බොහෝ වේලාවට අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ තිබෙන, දේශපාලන සංස්කෘතියේ තිබෙන පිරිහීම්, ඇද වැටීම්. ගරා වැටීම් සකස් කර ගන්න පුළුවන් බවයි අපෙත් හැඟීම. ඒ නිසා ඔබ වහන්සේලාට අපි රට වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් ගෞරව පූර්වක ප්‍රණාමය, ස්තුතිය, ගෞරවය පුද කරනවා යහපත් රාජ්‍ය පාලනයකට, යහපත් දේශපාලනයකට, යහපත් දේශපාලන සංස්කෘතියකට අවශ්‍යය මඟ පෙන්වීම ඔබ වහන්සේලා ඉටු කිරීම පිළිබඳව. පෙර රජ දවස සිටම රාජ්‍ය පාලනයේ දී උපදේශකත්වය, අනුශාසකත්වය අපි දන්නවා විශේෂයෙන්ම ගෞරවනීය, පූජනීය මහා සංඝරත්නය අනුශාසනා උපදෙස් මඟ පෙන්වීම් තුළ තමයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා එදා වගේම අදත් රාජ්‍ය පාලනය සඳහා ඔබ වහන්සේලා වගේම අනෙකුත් අනෙකුත් ආගමික නායකයින්ගෙත් පූජකතුමන්ලගේත් ඒ ආධ්‍යාත්මික දර්ශනයන් ඉතාමත් වැදගත් වෙනවා.

ඒ නිසා යහපත් දේශපාලන සංස්කෘතියකට මඟපෙන්වන මේ ප්‍රකාශනය එළිදැක්වීම පිළිබඳව අපි ඔබ වහන්සේලාට ඉතාම ගරු කරනවා වගේම මෙහි තිබෙන ඇතැම් කරුණු නීතිරීතිවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ඇතැම් කරුණු මැතිවරණ නීතියට එක්වීම ඉතාමත් අවශ්‍යයි කියලයි මම අදහස් කරන්නේ.

අද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මම දකින ප්‍රධානම කාරණයක් තමයි අැමැති මණ්ඩලයක් පත්කිරීමේ දී තිබෙන සීමාවන් පිළිබඳ අඩුපාඩු. බොහෝ රටවල්වල තිබෙන ජන අනුපාතයත් එක්ක ඇමැති මණ්ඩලය ඉතා අඩු සංඛයාවක් තමයි ඉන්නේ. අපි ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහි ජනගහනය කොච්චරද කියලා එහි සංඛ්‍යා ලේඛන කියන්න අවශ්‍ය නැහැ. නමුත් විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය ගත්තහම අද මහා ඉන්දියාවේත් ඉන්නේ 20ක් 21 විතරමයි. නමුත් අපේ රටේ සමහර වේලාවට කැබිනට් මණ්ඩලය 50 න් එහා නගින වේලාවලුත් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නීතියේ නැහැ. දැන් පළාත් සභා ගත්තොත් පළාත් සභා නීතියේම තිබෙනවා ඇමැතිවරු ඉන්න පුළුවන් මහ ඇමතිවරුත් එක්ක පස්දෙනයි කියලා. ඒ වගේම අපි ආණ්ඩුව ගත්තොත් ආණ්ඩුව තුළත් එවැනි නීතියක් තිබුණා නම් ඉතාමත්ම හොඳයි. මේ අමාත්‍යංශ අඩු කිරීම කියන කරුණ මුල්වන විට. අනිත් එක තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉඳලා මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසුව ඉල්ලන අයිතිවාසිකම් සහ වරප්‍රසාද ඒවා අසීමිත යි. ඇත්තටම කියනව නම් දැන් අද උදෙත් මාත් එක්ක ටිකක් මේ ගැන පොඩි වාද විවාද වුණා. මොකද ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන යෝජනාවක් මන්ත්‍රීවරුන්ට දෙන අතිරේක දීමනාවක් පිළිබඳව. මම කිව්වා මට ඒකට කොහෙත්ම කැමති වෙන්න පුළුවන්කමක් නැහැයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දෙන වැටුප්වලට දීමනාවලට අමතරව තව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න යෝජනාවක් ගෙනල්ලා මට අද ලොකු බලපෑමක් කළා. මම කිව්වා මටනම් කැමති වෙන්න බැහැ. දැන් ලක්ෂ හතරකට වැඩි හම්බවෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට. තව ලක්ෂ දෙකක් අතිරේක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බැහැ කියලා මම අත්සන් කෙළේ නැහැ. ඉතින් ඒ වගේ දේවල්වල දී තමා ඔය යම් යම් ප්‍රශ්න මතු වෙන්නේ .ඔය අපි කියන දේශපාලන සංස්කෘතිය තුළ අලුනිත් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරුන්ට දවස් තුනක වැඩමුළුවක් තිබුණා. ඒ වැඩමුළුවට අනිවාර්යයෙන් එන්න කියලා තිබුණා. මන්ත්‍රීවරු සියලු දෙනා එන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ වැඩ කරන්නේ කොහොමද. උපදේශක සභා, කමිටුවල වැඩකරන්නේ කොහොමද, නීති රීති කොහොමද, ස්ථාවර නියෝග කොහොමද, ඒ තියෙන නීතිමය තත්ත්වයන් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම උපදෙස් දීම දැනුවත් කිරීම එහි දී සිදු වුණා. එත කොට අද පාර්ලිමේන්තුවේත් පළාත් සභාවේත් පළාත් පාලන ආයතනවලටත් එවැනි වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා බොහෝ වේලාවට මේ තියෙන සියලු අඩුපාඩු සකස් කර ගන්න ඔබ වහන්සේලාගේ මේ මඟපෙන්වීම ඉතාමත් වැදගත් වෙනවා. මේ තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි සියලු දේශපාලන පක්ෂ යම් එකඟතාවයකට එනවා නම් මේ ප්‍රකාශනයේ කරුණු ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නැහැ. ඒ නිසා මෙතැන අපේ ගරු විපක්ෂ නායකතුමාත් ඉන්නවා. අගමැතිතුමාත් දැන් මෙතැන ඉදලා ගියා. මම හිතනවා අපි සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා යම් තීන්දුවක් ගත්තොත් මේ කියන කාරණා ක්‍රියාත්මක කරන්න කිසිම බැරිකමක් නැහැ. මමනම් සියයට සියයක්ම කැමතියි මේ කියන කාරණා ක්‍රියාත්මක කරන්න. ඒ පිළිබඳ නැවත වතාවක් ඔබ වහන්සේලාටත් අනිකුත් සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා-

මේ යෝජනාවල තිබෙන්නේ අපි පක්ෂයක් වශයෙන් එකඟ වුණ කාරණායි. ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල දී මෙවැනි දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය වු පරිසරයක් ගොඩනගා ගන්න නොයෙක් ආණ්ඩු ඉදිරිපත් වුණා. ඡන්දය දාන්න හැඳුනුම්පත රැගෙන ආයුතුයි කියන නීතිය ගෙනාවේ අපි පාලනය කරන යුගයේ. ඒ හැඳුනුම්පත ගේන්න හේතු වුණේ නොයෙක් අවස්ථාවල දී හොර ඡන්ද ව්‍යාපාරය නිසා ඇති වුණ තත්ත්වයන් මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඒ කාලේ ගම් සභාවල දී බොන්න දීලා අත උස්සවනව තමන්ගේ පැත්තට ඡන්දය දාන්න කියලා. ඡන්ද පෙට්ටි උස්සගෙන යනවා. ඔය වගේ නොයෙක් නොයෙක් අවස්ථාවල දී ඒවත් එක්ක අද මේ ඡන්ද ක්‍රමයත් එක්ක ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ වගේ තමයි දැන් මාස හයක් විතර තිස්සේ රජයේ වියදමින් අපේක්ෂකයන් පුම්බන දැන්වීම් පත්තරේ පිටු ගණන් පළ කරනවා. රජයේ මුදලින් ජනතාවගේ මුදලින් ජනතාව බදු ගෙවන මුදලින් ඒ අය දැන්විම් පළ කරනවා. අපි මේ තත්ත්වයන් වෙනස් කරන්න ඕනෑ. ඒ නිසා සියලු දෙනාම හොඳ රටක් හදන්න හොඳ සංස්කෘතියක් ඇති කරන්න පිළිගත් හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න අපි පොරොන්දු වෙන බව කියන්න කැමැතියි.

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සභාපති දිවියාගහ යසස්සි නාහිමි, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්ම ධස්සි නාහිමි සහ ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා ද මෙහිදි අදහස් දැක්වුහ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ අනුනායක ත්‍රිකුණාමලේ ආනන්ද හිමියන් ප්‍රමුඛ ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකවරු ද අගමැති රනිල් වික්‍රමසිංහ, යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයන් සහා නියෝජිතයින් රැසක් ද එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් මලවීර

නව අදහස දක්වන්න