උදේශ්-දිනෙත්: චලනි-රොෂිටා කැරම් යුගල ශූරතා දිනති | දිනමිණ

උදේශ්-දිනෙත්: චලනි-රොෂිටා කැරම් යුගල ශූරතා දිනති

නිරෝෂාන් ප්‍රියංකර
පිරිමි යුගල ශූරතාව දිනූ උදේශ් චන්දිම/දිනෙත් දුලක්‍ෂණ (මැද) සමග අනු ශූරයන් වූ හසිත අනුරුද්ධ/එවෝන් වික්‍රමසිංහ -  කාන්තා යුගල ශූරියෝ චලනි ලක්මාලි/ජෝශප් රොෂිටා (මැද) සහ අනුශූරතාව හිමිකරගත් තස්මිලා කාවින්දි සමග නුවන්තිකා සංජීවනී

සභාපති කුසලාන කැරම් ශූරතාවලිය

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන 19 වැනි සභාපති කුසලාන කැරම් තරගාවලියේ පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම සහ දිනෙත් දුලක්‍ෂණ සමත් වෙද්දී කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොෂිටා සමත් වූහ.

උදේශ සමග දිනෙත් පසුගිය වසරෙත් මේ තරගාවලියේ යුගල ශූරතාව දිනා තිබීම විශේෂත්වයකි.

පිරිමි යුගල අවසන් තරගයේදී උදේශ් සහ දිනෙත් හමුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේම හසිත අනුරුද්ධ සහ එවෝන් වික්‍රමසිංහ වට 2-1කින් පරාජයට පත්වුහ. තරගයේ ලකුණු තත්ත්වය වූයේ 20/25, 25/23 සහ 25/06කි.

කාන්තා යුගල ශූරියන් වූ චලනි/රොෂිටා හමුවේ අවසන් තරගයේදී පරාජයට පත්වූයේ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ තස්මිලා කාවින්දි සහ නුවන්තිකා සංජීවනීය. එහි ලකුණු තත්ත්වය 25/22 සහ 25/10ක් විය.

පිරිමි යුගල තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ සුරාජ් මධුවන්ත සහඅනාස් අහමඩ් හිමිකරගත් අතර කාන්තා යුගල තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ සසිකා සඳමාලී සමග රෙබෙකා ඩැල්රින්ට හිමිවිණි.

දෙල්කඳ ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැත්වෙන සභාපති කුසලාන කැරම් තරගාවලිය පිරිමි හා කාන්තා කේවල සහ යුගල ලෙස පැවැත්වෙන අතර ඒ අනුව සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි කේවල හා කාන්තා කේවල මූලික තරග මේ 17,18 දිනවලත්, 31 සහ සැප්තැම්බර් 01 යන දිනවලත් පැවැත්වෙන අතර, අවසන් තරග සැප්තැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

නව අදහස දක්වන්න