අපි ඉදිරිපත් කරන්නේ දිනන අශ්වයෙක් | දිනමිණ

අපි ඉදිරිපත් කරන්නේ දිනන අශ්වයෙක්

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි දිනන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් පරදින අශ්වයෝ තරගයට ඉදිරිපත් නොකරන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. දෙසැම්බර් 07 වනවිට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයෙකු ජනපති කරන බවද ඇමතිවරයා කීය. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දින කුළියාපිටිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසු අගමැතිවරයාගේ  ප්‍රධානත්වයෙන් කුළියාපිටිය බස් නැවතුම්පොලේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

“ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි දිනන අශ්වයෙකු අපි ඉදිරිපත් කරනවා. අපි පරදින අශ්වයෝ තරගයට ඉදිරිපත් කරන්නේ නැහැ. අපේක්කෙයෙක් ඉදිරිපත් කරන ක්‍රමයක් තිබෙනවා. එම ක්‍රමයට සුදුසු අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. ගියවර ජනාධිපතිවරණෙය් දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කර ජයග්‍රහණයට පත් කර මා දැන් දැඩි අපහසුතාවයන්ට ලක්ව තිබෙනවා. සෑම කෙනෙක්ම අහන්නේ මෙයා ගැන දන්නේ නැද්ද, දැනෙගෙන හිටියේ නැද්ද, මෙහෙම කරයි කියලා හිතුනේ නැද්ද කියලා. දැන් මට ඒක මහා වදයක් වෙලා. එම නිසා මෙවර ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි වසර 05 තුල මෙතෙක් සිදු කිරීමට නොහැකි වූ සියළු වැඩකටයුතු සාර්ථකව සිදු කිරීමට හැකි නායකයෙකු ලෙස ජනාධිපති කිරීමට අවශ්‍ය දේදුණු සන්ධානයක් ගොඩනගා රටේ සියළු බලවේග ඒකරාශී කරගෙන ජයග්‍රහණය කරා ගෙන යනවා.”

“පහුගිය කාලයේ පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා කරළියට ගෙනාවා. එම අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදය දන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදී නොවන අපේක්ෂකයෙක්. හමුදාවේ ඉදලා සීරුවෙන් ඉන්න කිව්වාම සිරුවෙන් ඉන්නයි. පහසුවෙන් ඉන්න කියනකොට පහසුවෙන් ඉන්නයි විතරයි ඔහුට පුළුවන්. ඔහු දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය දන්නේ නැහැ. දේශපාලනය කරලත් නැහැ. දේශපාලනය පිළිබද අවබෝධයකුත් නැහැ. ගෝඨා, ගෝඨා ,ගෝඨා කියලා ආව රැල්ල දැන් ගෝඨා භය වෙලා. දැන් කෝ ඒ ගෝඨා. දැන් හුලං ගිහිල්ලා. රැල්ලට එන අපේක්ෂකයන්ට රැවටෙන්න එපා.” මේ අවස්ථාවන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් යන මහතා ද සහභාගි විය.

නව අදහස දක්වන්න