ආධුනික පොලිස් කොස්තාපල් රියදුරෝ 105ක් මූලික පුහුණුවෙන් පසු විසිර යති | දිනමිණ

ආධුනික පොලිස් කොස්තාපල් රියදුරෝ 105ක් මූලික පුහුණුවෙන් පසු විසිර යති

කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට මූලික පුහුණුව සඳහා වාර්තා කළ ආධුනික පොලිස් කොස්තාපල් රියදුරන් 105 දෙනෙක් 30 වන දින ක්ෂේත්‍ර ‍රාජකාරී සඳහා විසිර ගියහ.

බඳවා ගැනීම්, පුහුණුව, මානව සම්පත් හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. මෙම නිලධාරීන් සඳහා ස්කොට්ලන්ත පුහුණු විශේෂඥයන් විසින් හඳුන්වා දෙන ලද නව පුහුණු ක්‍රමවේදයට අනුව මානව හිමිකම්, අපරාධ නීතිය, අපරාධ විමර්ශනය, සන්නිවේදනය, පරිගණක අපරාධ, බුද්ධි තොරතුරු හා පොලිස් මහජන සබඳතා වැනි විෂයන් ආවරණය කරමින් පුහුණු මොඩියුල 03ක් යටතේ විෂයානුබද්ධ දැනුමක් ලබාදෙන ලදී. තවද මෙම නිලධාරීන් සඳහා පොලිස් රිය පුහුණුව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක්ද ලබා දෙන ලදී.

කළුතර පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර අධ්‍යක්ෂ පුහුණුව සහකාර පොලිස් අධිකාරී කසුන් ජයසේකර මහතා විසින් මෙම පුහුණු පාඨමාලාවේ අධීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

මෙම ආධුනිකයන් 105 දෙනා අතුරින් හොඳම රියැදුරු ලෙස ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු 93312 ඒ.පී. නුවන් උඩුගම තේරී පත්වූ අතර අති දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු වශයෙන් 93268 ඩබ්.යු.කේ. අබේරත්න තේරී පත් විය. විසිර යාමේ පෙළපාළිය අධීක්ෂණය ප්‍රධාන ආරාධිත අමුත්තා වන නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා විසින් පරීක්ෂාවට ලක් කළ අතර පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර පුෂ්පකුමාර මහතා සමඟින් පෙළපාළියේ ප්‍රධාන අණදෙන නිලධාරියා වශයෙන් සහකාර පොලිස් අධිකාරී ඩී.ආර්. තලගල මහතා පරීක්ෂාව සිදු කළ අවස්ථාව.

මතුගම මධ්‍යම නිමල් වී‍රසේන
ඡායාරූපය - මතුගම මධ්‍යම 

නව අදහස දක්වන්න