මැණික් සාඩම්බරය ලොවට හෙළිකළ ‘FACETS’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය | දිනමිණ

මැණික් සාඩම්බරය ලොවට හෙළිකළ ‘FACETS’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි

එදත් , අදත්, එක ලෙස සිත් සතන් ඇඳ බැඳ ගත් ගීතයක් වන මෙමගින් ඉස්මතු කරන්නේ රත්න දීපය වශයෙන් සළකන ශ්‍රී ලංකාවේ ප්‍රොඪත්වය බව නොරහසකි.ඈත අතීතයේදී ශ්‍රී ලංකාව “ මැණික් ගල් සහිත දිවයින” යන්නට කදිම අර්ථය ඇති “රත්නද්වීපය” ලෙස හඳුන්වා තිබේ මැණික් ශ්‍රී ලංකාව තුළ ස්වාභාවිකව පවත්නා පාෂාණයක් වීම තුළින් ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැළී සිටින්නන්ගේ සුභසිද්ධිය ‍, මැණික් සහ ස්වර්ණාභරණ ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් වෙනුවෙන් සහ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අභිලාෂයෙන් මෙවරත් ‘FACETS’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පැවැත්වූණි.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA)සහ අපනයන ප්‍රවර්ධන මණ්ඩලයේ (EDB) සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළඳ

පොළට හඳුන්වාදීම හා සැපයීම මූලික අරමුණ කොටගෙන වාර්ෂික ‘FACETS’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මෙවරත් සංවිධානය කෙරිණි.

පහත දැක්වෙන්නේ ‘FACETS’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට සහභාගී වී සිටි මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර හිමි කිහිප දෙනෙකු දැක්වූ අදහස් ය.

‘ මීට අවුරුදු 30 කට පෙර අපේ ව්‍යාපාරය ආරම්භ කළේ සංචාරක කර්මාන්තය අරමුණු කර ගෙන. ඒ වුණත් අපි වර්තමානයේදී ශ්‍රී ලාංකිකයින්ටත් අළෙවි කරනවා. නුවර තමයි අපගේ ප්‍රධානතම ශාලාව තියෙන්නේ.දැනට මේ ක්ෂේත්‍රයේ ලංකාවේ විශාලතම ප්‍රදර්ශනාගාරය තමයි අපේ නුවර පිහිටි ශාඛාව. ’ කැන්ඩි ලක්මිණි ‘ නමින් තමයි අපේ ව්‍යාපාරය ප්‍රසිද්ධ වෙලා තිබුණේ . දැන් අපේ කොළඹ ව්‍යාපාරය ’ Tiesh ’ නමින් හදුන්වා දීලා තියනවා . අපි ළඟ තමයි ලෝකයේ තියෙන ලොකුම ‘ Blue Star Sapphire ’ එක තියෙන්නේ. ඒක දැන් තිබෙන්නේ අපේ නුවර ප්‍රදර්ශනාගාරයේ. ඒක ආරක්ෂිතව තිබෙනවා වගේ ම අපේ ප්‍රදර්ශනාගාරයට පැමිණෙන පුද්ගලයන්ට ඒක නැරඹීමේ අවස්ථාව හිමි කර ගන්න පුළුවන්.

මෙම ප්‍රදර්ශනය තුළ දී අපිට ගොඩාක් හොඳ ප්‍රතිචාර හිමි වුණා. පාස්කු ඉරිදා ත්‍රාස්ත ප්‍රහාරයෙන් පස්සේ අපි හිතුවේ නෑ , මේ තරම් ඉක්මනට තිබුණු තත්ත්වය යහපත් වේවි කියලා. මේ වෙන කොට විදේශිකයින් සැළකිය යුතු ප්‍රමාණයක් පැමිණ සිටිනවා. ‘ යනුවෙන් ‘ Tiesh ’ ව්‍යාපාරයේ අළෙවි කළමණාකරු වන ආසිරි ආරියසේන මහතා අදහස් දැක්වූහ.

Òඅපි ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරිය . 2006 මාර්තු 17 දින අංක 1436/ 21 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ස්වර්ණාභාරණවල ප්‍රමිතීන් නිතීගත කර තිබෙනවා. ස්වර්ණාභාරණ පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ ආයතනයි.

මිනිසුන් පැළඳ සිටින රත්තරන් නියම රත්තරන් ද?, පැළඳ සිටින රන් ආභරණ නියම ප්‍රමිතියෙන් යුක්ත ද? ස්වර්ණාභරණ මිල දී ගන්නා විට ප්‍රමිති මුද්‍රා සහිත ස්වර්ණාභරණ පමණක් මිලදී ගැනීමට සැළකිලිමත් වන්නේ කෙසේ ද? යන කරුණු කාරණා පිළීබඳව පැමිණෙන ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරනු ලබනවා. ‘ යනුවෙන් රන් ප්‍රමාණ විනිශ්චය කිරීමේ නිළධාරී, ඉරේෂ් මහතා ප්‍රකාශ කළහ.

‘ Black Rose ’ ව්‍යාපාරයේ හිමිකාරිණිය වන නිර්මලා පිරීස් තම ව්‍යාපාරය පිළිබඳව මෙවැනි අදහසක් ප්‍රකාශ කළහ.

‘අපේ ව්‍යාපාරයේ නම තමයි ‘ Black Rose ’ .අපේ ව්‍යාපාරයආරම්භ කරලා අවුරුදු 10 විතර වෙනවා. අපි බොහෝ ආභාරණ නිෂ්පාදනය කරලා ජර්මනියට යැවීම සිදු කරනවා. බොහෝමයක්ම ස්වාභාවික ගල් වර්ග සහ මුහුදු පාෂාණ වර්ගවලින් විවිධ ආභරණ නිර්මාණය කිරීම තමයි සිදු කරන්නේ. විදේශවලින් පාෂාණ වර්ග ගෙන්වා ගත්තත් අපි තමයි ආභාරණ නිර්මාණය කරන්නේ’ .

‘අපේ වෙළෙඳසැළට පැමිණෙන අය අපේ ආභරණවලට දැඩි කැමැත්තක් දක්වනවා. අපේ ළඟ තියන ආභරණ ගොඩක් ලක්සනයි , අනිත් ඒවට වඩා වෙනස් කියලා තමයි බොහෝමයක් අය කියන්නේ . ඒත් මේ වසරේ මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස අඩුයි කියලයි මම සිතන්නේ’

Devi Jewellers ( pvt ) Ltd හි කළමණාකරු වන එස්. එස් ප්‍රසන්න මහතා මෙලෙස අදහස් දැක්වූහ.

‘අවුරුදු 06 කලින් තමයි මේ වගේ ප්‍රදර්ශනයකට අපි පැමිණියේ. ඊට පස්සේ අපි ප්‍රදර්ශනවලට සහභාගී වූණේ නැහැ. අපි මෙම ප්‍රදර්ශනයට පැමිණේ ප්‍රථම වරටයි. 1965 වර්ෂයේ ඉඳන් Sea Street එකේ අපේ ව්‍යාපාරය තියනවා . අපි මේ වගේ ප්‍රදර්ශනවලට එන්න බැරි තරමටම කාර්යබහුල වෙනවා. අපි අපේ රත්තරං ආභරණවලට මාසයෙන් මාසයට වට්ටම් ලබා දීම සිදු කරනවා. පාරිභෝගික ඉල්ලීම හින්දා තමයි මේවර ප්‍රදර්ශනයට සහභාගී වුණේ. අපි ළඟට පැමිණෙන්නේ අපි ගැන හොඳට දන්න අය. මාල, වළලු, කරාබු, යනාදී විවිධ රත්තරං ආභරණවලට වෙන වෙනම වට්ටම් ලබා දීම අපි සිදු කරනවා’

Radiant Gems International PLC හි සභාපතිතුමන් වන සිදත් මුණසිංහ මහතා මෙලෙස ප්‍රකාශ කළහ.

‘අපේ ව්‍යාපාරය ආරම්භ කළේ 1980 දීයි. අපි ගොඩක් සියුම් කුඩා ගල් , කපලා , ඔප දමලා ස්විස්වලන්තයේ ඔරලෝසු නිර්මාණය කිරීම සඳහා යවනවා. අපි මැණික් ක්ෂේත්‍රයේ තියන පළමුවැනි මෙන් ම එකම PLC සමාගම වෙනවා. 100 % ක්ම අපි අපනයනය සිදු කරනවා. ඒ නිසා අපි BOI සමාගමක් වෙනවා. දැනට අපි ආභරණ සඳහාත් ගල් අපනයනය කරන්න සැලසුම් කරලා තියනවා. අපි බොහෝ සියුම් කුඩා ගල් රැගෙන එන්නේ තායිලන්තයෙන්. තායිලන්තයේ ගල් වැඩි ප්‍රමිතියකින් යුක්ත නිසා තමයි එහෙන් අපි ආනයනය කරන්නේ. අපි ඉදිරියේදී අපේ රටේදීම ආභරණ නිපදවලා, පිටරට යැවීමට කටයුතු කරනවා.’

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙහි යම් පසුබෑමක් විය. එහෙත් මෙම ප්‍රදර්ශනය නැරඹීමෙන් ලබා ගත් අත්දැකීම්වලින් පසුව , එදා සංචාරක කර්මාන්තයට සිදු වූ පසූබෑම අවසන් වී යළි යථා තත්ත්වයට පත් වී ඇති බව අනාවරණය කර ගත හැකි විය‍. මුළු ලෝකයේම අවධාණය දිනා ගන්නා ශ්‍රී ලංකාවේ මැණික් මඟින් සිදු කළ හැකි දෑ බොහෝමයක් තිබෙන බව මනාව අවබෝධ කර ගත හැකි විය. මැණික් හා ස්වර්ණාභරණවලින් ශ්‍රී ලංකාවට අනෙකුත් රටවල් අභිබවා යා හැකි ය . ඒ කෙසේ ද යන්න පිළිබඳව සිතා බලා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ බලධාරීන් නිරවුල් ප්‍රතිපත්තිමය තීරණ ගන්නවානම් වඩාත් යහපත් බව කිව යුතු ම ය. එසේ සිදු වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථියට ද සුභදායී තත්ත්වයක් ඇති කර ගත හැකි බව නිසැක ය.

 

සටහන- මදාරා මුදලිගේ
ඡා‍යාරූප- සරත් පීරීස්

නව අදහස දක්වන්න