එක්සත් ජාතික පක්ෂයේ 73 වසරක කාර්ය සාධනය | දිනමිණ

එක්සත් ජාතික පක්ෂයේ 73 වසරක කාර්ය සාධනය

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී පාලන සමයේ ලංකාවේ ජනවර්ග සහයෝගයෙන් කටයුතු නොකිරීම නිසා නිදහස දිනාගැනීම සඳහා බලපෑමක් ඇතිවිය හැකි බවට යටත්විජිත ආණ්ඩුව විසින් විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණි. එම නිසා ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායිවීමට නම් විවිධ ජනවර්ග සමඟියෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජාතික නිදහස් සටනේ සිටි නායකයන් සාකච්ඡා කරන ලදී.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු කරන කාලයේ සිටම ජනවර්ග අතර එකමුතුකම පිළිබඳ විවිධ අදහස් සාකච්ඡා හුවමාරු කරගෙන තිබිණි. එහිදී සේනානායක මහතාගේ දර්ශනය වූයේ සියලු ජනවර්ග එකමුතු කිරීම මගින් සමාජ දේශපාලන ස්ථාවරබව ආරක්ෂා කළහැකි බවයි. ඒ සඳහා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ගොඩනැඟීම සඳහා සියලු ජනවර්ග එකතු කිරීමේ වටිනාකම ඩී.එස්. සේනානායක විසින් අවධාරණය කර තිබිණි. එමගින් රට ඉදිරියට ගෙනයා හැකි බවයි, එවක දේශපාලනයේ නිරත වූ ලංකා ජාතික සංගමය, සිංහල මහ සභාව, මුස්ලිම් සංගමය තුළ කටයුතු කළ සිංහල දෙමළ මුස්ලිම් නායකයන් ඒකරාශි කොට එක්සත් ජාතික පක්ෂය ගොඩනැඟීම සඳහා ඩී.එස්. සේනානායක විසින් පුරෝගාමී මෙහෙවර ඉටුකළේය.

1946 සැප්තැම්බර් මස 06 වැනිදින කොළඹ ඇල්බට් කෙසන්ට් මාවතේ ෆාම් කෝට් මන්දිරයට රැස්වූ සාමාජිකයන් 205ක පමණ සාමාජික පිරිසක් එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් ආරම්භ කිරීමට නායකත්වය ලබාදුන්හ. මේ රැස්වීමේ කැඳවුම්කරු ලෙස කටයුතු කළේ ජේ.එල්. කොතලාවල මහතාය. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මේ රැස්වීමේ මූලාසනය හෙබවූ අතර අභිනව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා බවට පත්වූයේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායකය.

ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය ශක්තිමත් කොට ඉදිරියට ගෙනයෑමේ දී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබාදෙමින් නව ජවයක් ලබාදීමට මහාමාන්‍ය ඩී.එස්.සේනානායක සමත්විය. එතෙක් යටත්විජිතවාදීන්ගේ අභියෝගයට ලක්වී තිබූ දේශීය සිරිත්විරිත් සම්ප්‍රදායන්, ජාතික ආර්ථිකය නගාසිටුවීම සහ ජාතික සංහිඳියාව ගොඩනැඟීම සඳහා ස්ථිරසාර අඩිතාලමක් මත එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම සඳහා මූලික ප්‍රතිපත්ති සම්පාදනය කරන ලදී. එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේ දී එහි සභාපති ලෙස ඩී.එස්.සේනානායක මහතා විසින් ඉදිරිපත් කළ කතාවේ එක්සත් ජාතික පක්ෂයේ අපි ලාංකික ජාතියක් වශයෙන් පැවැත්මේ අවබෝධය ඇතිකරගත යුතුය. ජාති, ආගම්භේද අනවශ්‍යයි. සිංහල, දමිළ, ‍යෝනක - මැලේ හෝ බර්ගර් නැතහොත් යුරේෂියන් වර්ගයට අයත් වුවද අප සිතිය යුත්තේ මෙය අප ජානිත වූ අපගේ භූමිය කියාය. බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි භක්තිකයන් වුවද අප සියලුම දෙනා පැවසිය යුත්තේ අපේ භූමියට ආශිර්වාද වේවා යන්නයි”. මෙය එජාපය ආරම්භයේ සිටම ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාවේ අවශ්‍යතාව ඉතා පැහැදිලිව අවධාරණය කරසිටි බව පෙන්නුම් කරයි.

1947 ප්‍රථම පාර්ලිමේන්තු මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කළේය. එහිදී එම මැතිවරණය ඉතා විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කිරීමට ඩී.එස්. සේනානායක මහතා නායකත්වය ලබා දුන්නේය. ප්‍රථම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී.එස්.සේනානායකයන් විසින් ජාතික සංහිඳියාව මුදුන් පමුණුවා ගැනීම සඳහා පුරවැසි පනත හඳුන්වාදීමෙන් මෙරට ආර්ථිකයේ ශ්‍රම බළකායෙන් විශේෂ තීරුවක් නියෝජනය කළ වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් පුරවැසිබව ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ කෘෂි විප්ලවය වියළි කලාපයේ ඉතා සාර්ථක අන්දමින් මුල්බැස ගැනීමට සමත්විය. රටේ ජාතික ආදායම සංසන්දනාත්මකව බලන විට ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ නැංවීමට සමත්විය. මෙවැනි ආර්ථික සමාජ ජයග්‍රහණයක් අත්පත්කර ගැනීමට හේතුවූ‍යේ රටේ අභිවෘද්ධිය ගොඩනැගීමට සියලු ජාතීන්ගේ සමඟිය මගින් එකිනෙකාට ගරු කිරීමේ උතුම් ගතිපැවතුම් සමාජගත කිරීමේ දර්ශනය එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනගිය නිසාය. සිංහල මහ සභාවේ ප්‍රධානියා ලෙස එජාපයට එකතුවී සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ජාතිය විශේෂ කොට සැලකීම නිසා ජාතික සංහිඳියාවේ උතුම් මානවවාදී දර්ශනයට එකල බලපෑමක් ඇතිවිය. එජාපයේ දර්ශනයට විරුද්ධ වූ මේ ‍දේශපාලන විභවය හමුවේ බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්විය.

ඇති නැති පරතරය

ශ්‍රී ලාංකික සමාජයේ ඇතිනැති පරතරය තුනී කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට නිදහස් අධ්‍යාපනය මෙරට ක්‍රියාත්මක කළ යුතුය යන සටන මල්ඵල ගැන්වීම සඳහා මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ ආණ්ඩුව විශේෂ දායකත්වයක් සපයනු ලැබීය.

1952 දී මහාමාන්‍ය ඩී.එස්.සේනානායකගේ හදිසි අභාවයෙන් පසු රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ ඩඩ්ලි සේනානායක මහතාය. ගෞරවාන්විත දේශපාලනයක නිරතවූ එතුමා ජනසම්මතවාදයට හිස නැමූ නායකයෙකු ලෙස ජනතා පැසසුමට ලක්වී සිටියේය. තමාට රටේ ඇති ජනමතය විමසා බැලීමට කල්පනා කළ ඩඩ්ලි සේනානායක මහතා 1952 පවත්වන ලද පාර්ලිමේන්තු මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්විය. එහිදී අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වුවත් එය කෙටි කාලයකට සීමාවිය. ඊට හේතුවූයේ 1953 ඇතිවූ හර්තාලය හේතුකොටගෙන කිහිපදෙනෙකුගේ ජීවිත අහිමිවීම යන කරුණ හේතුවෙන් බෙහෙවින් කනගාටුවට පත් පරමාදර්ශී දේශපාලන නායකයෙකු ලෙස ඩඩ්ලි සේනානායක මහතා සිය අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමය.

ජී.ජී. පොන්නම්බලම් මහතා 50ට 50 අනුව යමින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලමින් පාර්ලිමේන්තුවේ මතුකළ විවාදවලදී ඩඩ්ලි සේනානායක මහතා පවසා සිටියේ සියලු ජාතීන් එකමුතු කිරීමේ ක්‍රමයක් සකසා ඒ අනුව කටයුතු කරනවා වෙනුවට මෙවැනි ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීම ගැටලු ඇති කිරීමට හේතුවන බවයි. ඒ අනුව දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමේ දී එකම රටක ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ලෙස දැක්මක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව එතුමා විසින් පෙන්වා දෙන ලදී. සියලු ජාතීන්ගේ එකමුතුකම සහ ජාතික එක්සත්කම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය ඉදිරියට ගෙන යමින් ඩඩ්ලි- චෙල්වනායගම් ගිවිසුම අනුව රට සභා ක්‍රමය හඳුන්වාදීමට පියවර ගනු ලැබීය. එහෙත් අවස්ථාවාදී පටු දේශපාලනඥයන් මේ ජාතික වැදගත්කම මහා පාවාදීමක් ලෙස සමාජගත කිරීමට උත්සාහ කරන ලදී.

ඩී.එස්. සේනානායක මහතා විසින් මෙරට සමාජය හා දේශපාලනයේ සිදුකළ ක්‍රියා, මොහොමඩ් අලිජින්නා සහ ශ්‍රී නේරුතුමා ආසියානු දේශපාලනයේ සිදුකළ විප්ලවයන්ට සමාන කළහැකිබව ඇතැම් දේශපාලන විශාරදයන් පෙන්වා දී ඇත.

ඩඩ්ලි සේනානායකගේ හදිසි ඉවත්වීමත් සමඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ සර් ජෝන් කොතලාවල මහතාය. එජාප දර්ශනය ඉදිරියට ගෙනයමින් ඩී.එස්. සහ ඩඩ්ලි ආරම්භ කළ වියළි කලාපීය ගොවි ජනපද ව්‍යාපාර සංවර්ධන සැලැස්ම තවදුරටත් ඉදිරියට ගෙනයමින් ගොවි ජනතාව සමෘද්ධිමත් මට්ටමට ගෙනඒමට එතුමාණන් සිය නායකත්වය ලබාදුන්නේය. තවද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ රටට නායකත්වය දුන් සර් ජෝන් කොතලාවල විසින් ලෝකයේ වෙනත් රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගනු ලැබීය.

ගොවි ජනපද

1965 බලයට පත්වූ ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව මෙරට ආර්ථිකයේ නව ක්ෂේත්‍රයක් හඳුනාගැනීම සඳහා දැක්වූ අවධානය අතර සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකය සමඟ බද්ධකර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීම වැදගත්ය. ඒ අනුව 1966 දී සංචාරක කර්මාන්තය රාජ්‍යය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා සංචාරක මණ්ඩලය සහ ලංකා හෝටල් සංස්ථාව පිහිටුවීම දැවැන්ත ආයෝජනයක් ලෙස සැලකිය හැකිය.

මේ අනුව 1947 1960 මාර්තු සහ 1965 යන වර්ෂවල පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණවල එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කොට මෙරට සමාජ ආර්ථික සහ දේශපාලනික පරිවර්තන ඇතිකිරීමට පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා දේශපාලනයේ විප්ලවයක් ඇතිකොට රට යෝධ සංවර්ධන ක්‍රියාදාමයකට පරිවර්තනය කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකිරීමට මෙන්ම එජාපයේ දේශපාලන දර්ශනය තවදුරටත් ශක්තිමත් කිරීමට නායකත්වය ලබාදුන් නායකයා වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. 1977 වර්ෂයේ පවත්වන ලද පාර්ලිමේන්තු මහමැතිවරණයේ දී හයෙන් පහක බලයක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටවූ ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමඟ සමීප සබඳතා ඇතිකොට එවක පැවති ‍ලෝක සමාජයේ දියුණුව ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කළේය. එහිදී නව ආර්ථික දර්ශනයක් ලෙස විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙරටට හඳුන්වාදීමෙන් ආර්ථික ක්ෂේත්‍රයේ මහා පෙරැළියක් ඇතිකිරීමට එතුමා සමත්විය.

සංවර්ධනයේ අඩිතාලම

1977ට පෙර අසාර්ථක ලෙස ගොඩනැගී තිබූ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට රාජ්‍ය සුබසාධනය ශක්තිමත් කරමින් ලිබරල් ආර්ථික ක්‍රම මාදිලිය පුළුල් කිරීම හරහා මහජනතාවට වැඩි සහනයක් ලබාදීමට ජේ.ආර්.ජයවර්ධන මහතා කටයුතු කළේය. එම ආර්ථික මොඩලය වූ කලී දකුණු ආසියාවේ නායකයකු විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රථම ආර්ථික හැරවුම් ලක්ෂය ලෙස වාර්තා කළ හැකිය. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුකළහැකි බලපෑම ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව හඳුනාගෙන තිබිණි. එමගින් වාණිජ ව්‍යාපාර කටයුතු පියවර කිහිපයකින් සංවර්ධනය වීමට අඩිතාලම වැටිනි.

බියගම, කොග්ගල හා කටුනායක ප්‍රදේශ යාකරමින් පිහිටවනු ලැබූ නිදහස් වෙළෙඳ කලාපය මගින් විශාල රැකීරක්ෂා ප්‍රමාණයක් උත්පාදනය කොට කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට ආර්ථික ක්ෂේත්‍රයේ නව දැක්මකින් යුතුව ක්‍රියා කිරීමට එජාපය කටයුතු කරන ලදී.

වියළි කලාපීය දුගීදුප්පත් ජනතාවගේ සමාජ ආර්ථික අභිවෘද්ධිය ඇතිකිරීම වෙනුවෙන් අවුරුදු 30කින් නිමකිරීමට සැලසුම් කර තිබූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය කෙටිකලකින් නිමාකොට කෘෂිකර්මාන්තය, විදුලිබලය, පානීය ජල අවශ්‍යතා, මහාමාර්ග, නව නගර ඇතිකිරීම ඇතුළු සමාජ , ආර්ථික සුබසිද්ධිය ඇතුළු ධනාත්මක ආකාරයේ සංවර්ධන කාර්යභාරයන් රැසක් ඇතිකිරීමට සමත්විය. මෙය වූ කලී කෘෂිකර්මාන්තය පදනම් කරගත් ශ්‍රී ලාංකික සංස්කෘතියේ යෝධ සංවර්ධනය ඇති කිරීමට එජාපය ගනු ලැබූ වැදගත් පියවරකි. එලෙස ගොවි ජනපද ව්‍යාපාරයෙන් මහවැලි ව්‍යාපාරයට පරිවර්තනය වීම කෘෂි විප්ලවීය අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. අතීත රජ දරුවන් මෙරට නාවික වරායන් ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා රට යොමු කළ අයුරින්ම එජාප ආණ්ඩුව ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා මෙරට ගුවන් සහ නාවික ශක්තිය ව්‍යාප්ත කිරීමේ සැලසුම් සම්පාදනය කරන ලදී. මේ හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකියාව ලැබිණි.

රටේ ජාතික උරුමය ආරක්ෂා කිරීම සහ ඓතිහාසික ශිෂ්ටාචාරය පදනම් කරගත් නටබුන් ඇසුරෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම උදෙසා සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීම සඳහා එජාපය වැදගත් අවධානයක් යොමුකරන ලදී. මේ යෝධ සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීමේදී එජාපයේ දර්ශනය වූ ජාතික සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා ද විශේෂ අවධානය ‍යොමු කරන ලදී. වතුකරයේ දෙමළ ජනතාවගේ පුරවැසිභාවය ලබාදීමට කටයුතු කිරීම මගින් එම ජනතාවට ශ්‍රී ලංකාව තමන්ගේ රටය යන හැඟීම ලබාදීම සඳහා කටයුතු කිරීමට අවධානය යොමුකරවීම ජාතික සංහිඳියාව ඇතිකිරීමේ ක්‍රියාවලිය එජාපය සිදුකළ වැදගත් කාර්යභාරයකි.

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේදී දුගී දුප්පත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් අවධානය යොමුකිරීම සමාජ පරතරය තුනී කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙස ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ දී ද සලකා බලන්නකි. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය ස්ථාවර කරමින් ග්‍රාමීය පළාත්වල ආර්ථික ශක්තිය දුර්වල වූ දුප්පත් මවුපියන්ගේ දූදරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය හඳුන්වාදීම නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවිය. විශේෂයෙන් මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සංවර්ධනය කිරීම ඇතුළුව පළාත් මට්ටමින් නව විශ්වවිද්‍යාල කීපයක් ආරම්භ කිරීම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ එජාප දර්ශනය මෙහෙය වූ ආකාරය මැනවින් පිළිබිඹු කරයි.

හැරවුම් ලක්ෂය

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කාන්තා ශ්‍රමය සඳහා ඉහළ සමාජ වටිනාකමක් ලබාදීමේ අරමුණින් මෙන්ම නැතිබැරි පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා මැද පෙරදිග ගෘහ සේවාව ඇතිකිරීම එජාපය දුරදිග කල්පනා කරමින් සැලසුම් කළ යෝධ ආර්ථික සංවර්ධන කටයුත්තක් ලෙස සැලකිය හැකිය. තරුණ තරුණියන්ගේ නිපුණතා දියුණු කරගැනීම සහ දැනුම වර්ධනය කරගැනීම උදෙසා ජාතික තරුණසේවා සභාව පිහිටුවීම සහ තොරතුරු තාක්ෂණය ආරම්භ කිරීම, ශ්‍රී ලංකාව නව හැරවුම් ලක්ෂයකට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකා සමාජය සකස්වීමේ ක්‍රියාවලිය පිළිබඳ තම දැක්ම ඉදිරියට ගෙනයමින් ජාතික සංහිඳියාව වෙනුවෙන් 1987 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13වන සංශෝධනය හඳුන්වාදීමෙන් ඇතිකළ පළාත් සභා ක්‍රමය ඔස්සේ එක්සත් ජාතික පක්ෂය විසින් ජාතීන්ගේ එක්සත්කම ආරක්ෂා කිරීමට තිබෙන උනන්දුව ප්‍රායෝගිකව පෙන්නුම් කර තිබේ. මෙහිදී ඉන්දීය භූ දේශපාලනය පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික අයුරින් සමීප සබඳතා ගොඩනගාගැනීම පිළිබඳවද විශේෂ අවධානය යොමුකර තිබේ.

මේ පරිවර්තන ඇතිකිරීමේදී එජාපය හඳුන්වාදුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් මට්ටමක සාධනීය තත්ත්වයක් පෙන්නුම් කළත් පසුකාලීනව එය වර්තමාන සමාජ ක්‍රමයේ ඉදිරියට ගෙන යාම සඳහා බාධාවක්ව පවතින බව එජාපයම තේරුම් ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ වගකිවයුතු දේශපාලන පක්ෂයක ඉතා වැදගත් කාර්ය සාධනයක් ලෙස සැලකිය හැක. ඇත්ත වශයෙන්ම නූතන ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික ආකෘතිය ඇති කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකළේ එක්සත් ජාතික පක්ෂය බව සැලකිය හැකිය.

මේ කාර්යයන් ඉටුකිරීමේ දී එජාපය අවධානයට යොමුකළ ප්‍රධාන කරුණක් වූයේ තරුණ දේශපාලනඥයන් සඳහා විශේෂ වගකීම් පවරාදීමටය. තරුණ දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා යොදාගැනීමට රටේ අනාගත සැලසුම් සම්පාදනය කිරීම සඳහා තරුණ, උගත්, බුද්ධිමත් දේශපාලන පරම්පරා කිහිපයක් ගොඩනගා එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනයාමේ අවස්ථාව උදාකරන ලදී. එම පරම්පරාවේ රනිල් වික්‍රමසිංහ, ලලිත් ඇතුලත්මුදලි,ගාමිණී දිසානායක, ඒ.සී.ඇස්. හමීඩ්, ඊ.එල්.බී. හුරුල්ලේ සහ ගාමිණී ජයසූරිය වැනි තරුණ දේශපාලනඥයන් මහා සම්පත්දායකයන් ලෙස හඳුනාගෙන තිබිණි.

ඇඟලුම් කම්හල්

1989 පාර්ලිමේන්තු මහ මැතිවරණය මගින් එජාපය නැවත ආණ්ඩු බලය ලබාගත්හ. 1988 ජනාධිපති මැතිවරණය මගින් ජනාධිපතිවරයා බවට පත්වූ රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාව සංවර්ධන ලෝකයේ ඉදිරියට ගෙනයාම සඳහා විශාල වැඩ කොටසක් සැලසුම් කිරීමට අවධානය යොමුකරන ලදී. එතුමන් විසින් ආරම්භ කළ ජනසවිය වැඩසටහන දුගී දුප්පත් ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නයට ලබාදුන් වැදගත් විසඳුමක් ලෙස සැලකිය හැකිය. ගම්උදාව වැඩසටහන ආරම්භ කිරීම මගින්ද නිවසක් ඉදිකරගැනීමට පවා වත්පොහොසත්කමක් නැති අසරණ ජනතාවට මහා අස්වැසිල්ලක් විය. තව ද ග්‍රාමීය පළාත්වල ජීවත්වන තරුණ තරුණියන්ගේ ශ්‍රම දායකත්වය ලබාගනිමින් ඔවුන්ගේ නිපුණතා දියුණු කරලීමට ආරම්භ කළ ඇඟලුම් කම්හල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් ගම් පළාත්වල නැතිබැරි තරුණ තරුණියන්ගේ අතමිට සරුකරන පරිසරයක් බිහිකිරීමට සමත්විය.

මෙතුමාගේ හදිසි අභාවයෙන් පසුව ජනාධිපතිවරයා ලෙස සහ එජාපයේ නායකයා ලෙස පත්වූයේ ඩී.බී.විජේතුංග මහතාය. පක්ෂයේ දර්ශනය ඉදිරියට ගෙනයමින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට ඔහු විශේෂ අවධානය යොමුකළේය.

පටු ජාතිවාදී බෙදීම් ප්‍රතික්ෂේප කරමින් ජාතික සංහිඳියාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය සමාජගත කිරීම සඳහා එතුමාගේ නොසැලෙන ප්‍රතිපත්ති සමුදාය නායකත්වයෙන් කැපී පෙනෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙයෙවීමෙන් 2001 වර්ෂයේ එජාපය ආණ්ඩු බලය දිනාගනු ලැබු‍වත් වෙනත් පක්ෂයක ජනාධිපතිවරයෙක් කටයුතු කිරීමේ ප්‍රතිඵලය නිසා එජාප ආණ්ඩුව 2004 දී ප්‍රජාතන්ත්‍ර විරෝධීව බිඳදැමීම සඳහා කටයුතු කරන ලදී. ශ්‍රී ලාංකික අනන්‍යතාව, ජාතික සමඟිය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යය ගොඩනැගීම, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ආරක්ෂා කරමින් දුගී දුප්පත් ජනතාවට ඒවා භුක්තිවිඳීමට තිබෙන නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරුකොට එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායකත්වය ලබා දුන්නේය.

එතැන් පටන් එජාපයට ආණ්ඩු බලය ලබාගැනීමට නොහැකි වූ අතර විවිධ අභ්‍යන්තර ගැටුම්වලට ද මුහුණදීමට සිදුවිය. මේ නිසා එජාපයේ මන්ත්‍රී ධුර දැරූ බොහෝ පිරිසක් පක්ෂයෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ එජනිසය වෙනුවෙන් කටයුතු කිරීමට පෙලඹිණි. එහෙත් එජාපය ඉදිරියට ගෙන යෑමේ අභියෝගය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාක්ෂිකයන් එක්සත් කරමින් සෑම ගමකම සාමාජිකයන් තිස්දෙනෙකුගේ කමිටු පිහිටුවමින් ගම් මට්ටමින් ගෙයින් ගෙට යෑමේ පුළුල් සංවිධාන ජාලයක් ගොඩනැගීමේ මූලික අඩිතාලම දමනු ලැබීය.

නිදහස් සන්ධාන ආණ්ඩුවට එරෙහිව පුළුල් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහා වික්‍රමසිංහ මහතා එජාපයට නායකත්වය ලබාදුන්නේය. එහි ආරම්භය ලෙස එජාප ජනාධිපති අපේක්ෂකත්වය කැපකරමින් 2015 ජනවාරි ජනාධිපති මැතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදීමට ඉදිරිපත් විය. පසුබෑමකට ලක්ව තිබූ එජාප පාක්ෂිකයන් මේ මැතිවරණයේ දී උනන්දුවෙන් ඡන්දපොළට පැමිණ පොදු අපේක්ෂක ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට කටයුතු කළේය. රනිල් වික්‍රමසිංහ මහතා 2015 අගෝස්තු මස මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබාදෙමින් එජාපය විශිෂ්ට මට්ටමින් ජයග්‍රහණය කරවීමට කටයුතු කළේය.

මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩු සංකල්පය පිළිබඳව නව දේශපාලන සංස්කෘතියක්

ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා රටේ පුළුල් සමාජ කතිකාවක් ගොඩනගන ලදී. එක්සත් ජාතික පක්ෂය රටේ සියලුම දේශපාලන පක්ෂවලට පාලන බලයට හවුල්වීමට ආරාධනා කර ඇත්තේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් හරහා මහජනතාවට වැඩි සේවාවක් ලබාදීමේ අරමුණින් කටයුතු කිරීමටය. ශ්‍රී ලංකා ජනසමාජයේ ජීවත්වන විවිධ ජාතීන්ගේ එකමුතුකම රටේ ස්ථාවරභාවයට අත්‍යවශ්‍ය කාරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පිළිගෙන ඇත. ඒ අනුව මෙරට සංවර්ධනය කිරීමේදී ජාතික සංහිඳියාව ජනසමාජය ස්ථාවර කිරීමට අවශ්‍ය බව දිවයිනේ විශාලතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පිළිගෙන ඇත.

ගම් උදාව

ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමුකරමින් දකුණු ආසියාව තුළ මූල්‍ය ගනුදෙනු සඳහා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරීම, රැකියා දසලක්ෂයක් බිහිකිරීම මගින් රට සංවර්ධනය සඳහා ඉදිරියට ගෙනයාම එජාපයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති අතර වේ. ජාත්‍යන්තරයෙන් එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය, මිත්‍ර සබඳතා ඔස්සේ ප්‍රතිරූපය ඉහළට ඔසවා තබමින් නොබැඳි විදේශ ප්‍රතිපත්තියට මුල්තැන ලබාදීමට එජාපය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ කටයුතු කර ඇත. පුරවැසි අනන්‍යතාව ශක්තිමත් කිරීම සඳහා මාධ්‍ය නිදහස තහවුරු කිරීම, අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සඳහා කටයුතු කිරීම සම්මුතිවාදී ආණ්ඩුව මගින් එජාපය ක්‍රියාක්මක කළ ප්‍රධාන කාර්යයන් අතර වේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ කොමිෂන් සභා ඇති කිරීම මගින් යහපාලනය ගොඩනැගීම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට එජාපය කටයුතු කර ඇත.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බවට පත් වී මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් එජාප ශ්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුවක් ඇතිකිරීම සඳහා පදනම සකස් කළේය. පටු දේශපාලන වාදභේද අමතක කොට රට පෙරට තබා සංවර්ධනය කිරීමේ පරම අභිලාෂය මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් එජාපය ප්‍රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කිරීම සඳහා අඩිතාලම දමන ලදී.

පසුගිය වසර 04ක කාලයේ ශ්‍රී ලංකාවේ බිඳවැටී තිබූ ප්‍රතිරූපය ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟීම සඳහා කටයුතු කරන ලදී. පුරවැසියන්ගේ පරම අයිතියක් වූ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට ජීවත්වීම සඳහා සාමකාමී පරිසරයක් ගොඩනඟන ලදී. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මූලික පියවරක් වශයෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ශක්තිමත් කිරීමට පෙරමුණ ගනු ලැබීය. ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම මගින් පුරවැසි අනන්‍යතාව ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත මානව සහ භෞතික සංවර්ධනයක් ඇතිකිරීමට සමත්විය. ග්‍රාමීය සංවර්ධනය ඇති කිරීම සඳහා ගම්පෙරළිය සහ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් හඳුන්වා දෙන ලදී. දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ඇති කිරීම, නාගරික සංවර්ධනය, ආගමික වෙහෙර විහාර දියුණු කිරීම, සංඝයාවහන්සේලා රක්ෂණය කිරීම, සමෘද්ධිලාභීන් සඳහා ප්‍රමුඛතාව ලබාදීම වැනි සමාජ සුබසාධන වැඩසටහන් ලබාදීමට කටයුතු කෙරිණි.

මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන

නව අදහස දක්වන්න