සෑම අභියෝගයක්ම ජයගෙන පොඩි මිනිසා රජකරවන යුගයක් ඇති කරනවා | දිනමිණ

සෑම අභියෝගයක්ම ජයගෙන පොඩි මිනිසා රජකරවන යුගයක් ඇති කරනවා

ඇමැති සජිත් ප්‍රේමදාස

මෙරට ජනතාව ලබාදෙන ශක්තිය තුළින් සෑම අභියෝගයක්ම ජයගෙන පොඩි මිනිසා රජකරවන යුගය නිර්මාණය කරන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජනතා සේවයට අකැමැති, අලස කොට්ඨාසයක් තමන් ඉදිරියට එනවාට බිය වී තමන්ට විරුද්ධව කටයුතු කරන බවත්, කවුරුන් කුමක් කීවත් මෙරට බහුතර ජනතාව තමන් සමඟ සිටින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

තමන් ඒකාධිපතියකු, ආඥාදායකයකු නොව ජනතා හඬට සවන් දී ජනතා පැතුම් ඉටු කරන ප්‍රජාතන්ත්‍රවාදියකු බව පෙන්වා දුන් ඇමැතිවරයා, ජන බලය ගණන් ගත යුතු නැතැයි සිතමින් පොදු ජනමතය ප්‍රතික්ෂේප කර අද ඇතැමුන් තම හිතුමතයට තීන්දු තීරණ ගන්නා බවද වැඩි දුරටත් පැවැසීය.

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාට කැමතිද? අකමැතිද? යන්න තංගල්ල ජනතාවගෙන් ඇමැතිවරයා එහිදී විමසීය. එයට ප්‍රතිචාර ලබාදෙමින් රැස්ව සිටි ජනතාව හඬ නඟා අත්ඔසවා ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළහ.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ‘සැමට සෙවණ - ජංගම සේවා මෙහෙවර” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2 762ක් සඳහා රුපියල් ලක්ෂ 3,089ක් වටිනා ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. මේ වැඩසටහන ඊයේ (18) දින තංගල්ල බස් නැවතුම්පොළ පරිශ්‍රයේ දී පැවැත්විණි.

ජංගම සේවා වැඩසටහනට සමගාමීව පවුල් 1,287කට රුපියල් ලක්ෂ 2574ක් වටිනා ‘විසිරි නිවාස ණය’, අඩු ආදායම්ලාභී පවුල් 58කට රුපියල් ලක්ෂ 264ක් වටිනා ‘සෙවණ ආධාර’, පවුල් 36කට රුපියල් ලක්ෂ 72ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 1,181 දෙනකුට රුපියල් ලක්ෂ 177ක් වටිනා සිමෙන්ති ආධාර සහ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 200 දෙනකුට නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ද ඇමැතිවරයා අතින් මෙහි දී සිදුකෙරුණි.

මේ අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න