මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙයි | දිනමිණ

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙයි

පුණ්‍යෝත්සවය ඇමැති සජිත් ප්‍රධානත්වයෙන්

ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ පුණ්‍ය මහෝත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානයේදී ඊයේ (06) පස්වරුවේ චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වලවා හැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සංස්කෘතික කටයුතු හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම පුණ්‍යෝත්සවය පැවැත්විණි.

සංස්කෘතික කටයුතු හා නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම උත්සවයට සහභාගි වූ අතර බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරුන් වන රවී කරුණානායක, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීහුද එම අවස්ථාවට එක්වූහ. රැස්ව සිටි ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස පන්සිල්හි පිහිටුවීම සිදුකරනු ලැබුවේ මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසිනි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක හිමියෝ අනුශාසනාවක් පැවැත්වූහ.

මිහින්තලා ඓතිහාසික පුණ්‍ය භූමිය ලංකාවේ ශිෂ්ටාචාරය ආරම්භ කළ පුණ්‍ය භූමියක් බවත් අතීතයේ විසූ රාජරාජ මහා මාත්‍යාධීන් මිහින්තලාවට ගෞරවනීය ස්ථානයක් ලෙස පුද පූජා පැවැත්වූ බවත් අතීත රජදරුවන් අනුව යමින් වර්තමාන ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් මෙය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ඉටුකළ මෙහෙවර බෞද්ධ ශාසනයට මහඟු සේවාවක් ලෙස සළකන බවත් ධම්මාවාස නාහිමියෝ පැවසූහ.

ඉන් අනතුරුව මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පුණ්‍ය උත්සවයේදී කියැවීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා තිබූ එම සන්නස් පත්‍රය මිහින්තලා රාජමහා විහාරාධිපති නාහිමියන් වෙත පිළිගැන්වීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා එය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදුන්නේය.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සහ සෙසු ඇමැතිවරු එක්ව එම සන්නස් පත්‍රය මිහින්තලා රාජමහා විහාරාධිපති නාහිමියන් ඇතුළු සෙසු නායක ස්වාමින් වහන්සේ වෙත පූජා කළහ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිත නන්දකුමාර මහතා ස්තුති කතාව පැවැත්වීය. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ වප්පුර අටවන පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ලබන වසරේදී සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙහිදී රජයෙන් විශේෂ ඉල්ලීමක් කළහ.

මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම නිමිතිකරගෙන මිහින්තලා පුදබිමේ දින 03 ක් මුළුල්ලේ පැවැති පින්කම් මාලාව මෙම පුණ්‍යෝත්සවයත් සමඟ නිමාවට පත්විය.

චන්ද්‍රදාස මලවරආරච්චි - මිහින්තලේ විශේෂ

නව අදහස දක්වන්න