සියලු කලාකරුවන්ට කිරුළු පැළඳවීමට විප්ලවීය මහා කලා බලමුළුව පිහිටුවනවා | දිනමිණ

සියලු කලාකරුවන්ට කිරුළු පැළඳවීමට විප්ලවීය මහා කලා බලමුළුව පිහිටුවනවා

කමනි අල්විස්

විප්ලවීය මහා කලා බලමුළුව ඇති කිරීමෙන් කලාකරුවන්ගේ හිස මත කිරුළු පැළැන්ඳවීමට කලා පසුබිමකින් ඉදිරිපත් වන එකම ජනාධිපති අපේක්ෂකයා වන ‍තමා නොපැකිලව පියවර ගන්නා බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සෑම කලාකරුවකුගේම සුබසාධනය දියුණු කරමින් ඔවුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයකට උරුමකම් කීමට හැකි පදනම ඇති කිරීමේ පියවර කලාකරුවන්ගේ හමුවෙන් ඇරැඹි බව කී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ පිරිසුදු පණිවුඩය සෑම කලාකරුවකු හටම දැනුම් දීමට පියවර ගන්නා ලෙසටද පැමිණ සිටි කලාකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ අදහස් දැක්වූයේ ඉකුත් 5දා ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නිවසේ පැවැති කලාකරුවන් හමුවේ දීය.

මෙහිදී හමුහට පැමිණි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව ප්‍රවීණ රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය මල්දමක් පළඳවා පිළිගත්තාය.

තවදුරටත් එහිදී අදහස් දක්වමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මගේ මවට පින්සිදුවන්නට මැනවින් සංගීත කුසලතාව මට හිමි‍වුණා. ගිටාර් ඕගන් පියානෝ වාදනයට ගායනයට මා හට හැකියාවක් තිබෙනවා. කලාකරුවන්ගේ දුක කඳුල මම හොඳහැටි හඳුනනවා. කලාකරුවන් රැසකට පොදුවේ ඉටුවිය යුතු කාරණා රැසක් මාහට දැනුම් දී තිබෙනවා. අනෝමා ජිනාදරී රංගනවේදිනියත් යෝජනා රැසක් ඉදිරිපත් කළා. ඒ සියල්ල සැලකිල්ලෙන් අධ්‍යයනය කරනවා. සියලු අදහස් විමසා බැලීමෙන් අනතුරුව කලා ප්‍රඥප්තිය ඇති කරනවා. එවිට කලාකරුවන්ට තම ශක්තියෙන් නැඟී සිටීමට හැකියාව ලැබෙයි.

සංස්කෘතික ඇමතිධුරය දරමින් කලාව වෙනුවෙන් සේවාවන් රැසක් ඉටු කළා. චිත්‍රපටි සංස්ථාව දේශීයත්වයට ප්‍රමුඛ ස්ථානය ලබාදෙන ස්ථානයක් ලෙසින් පළමු වෙඩි මුරය පත්තු කළා. මොනතරම් බලපෑම් පැමිණියත් දේශීය චිත්‍රපටියේ උන්නතියට කටයුතු කිරීමට හැකි වුණා. කලාකරුවන් දේශපාලන ඉත්තන් කරගැනීමට සූදානම් වන්නේ නෑ. කලාකරුවන් සමඟ අත්වැල් බැඳගෙන ශක්තිමත් ඉදිරි ගමනක නිරතවෙනවා.

එක්සත් ජාතික කලා සංසදයේ සභාපති ප්‍රවීණ රංගධර රෙක්ස් කොඩිප්පිලි මහතා පිළිගැනීමේ කතාව සිදුකරමින් - සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවීමේ වරම ලැබේවා යැයි සියලුම කලාකරුවන් මහහඬින් පවසනවා. කලාකරුවන් පිළිබඳ ඔවුන්ට ඇතිවිය යුතු පොදු කරුණු රැසක් සම්බන්ධව ඉදිරියේ දී අනාවරණය කරනවා. සාමයෙන් සමඟියෙන් එකාමෙන්ම ක්‍රියා කරමින් ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කැපවීම කලාකරු සැමගේ ඒකායන අරමුණ විය යුතු බවත් රෙක්ස් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජාතික කලා සංසදය නියෝජනය කරමින් ප්‍රවීණ රංගනවේදිනි අනෝමා ජිනාදරී මහත්මිය- සිනමාව හා කලාව නිර්දේශපාලනීකරණය කිරීමට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගන්නා උත්සාහයට ගරු කරනවා. මීට වසර ගණනාවකට ඉහතදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිස්ත්‍රික්ක‍යක් පාසා මැතිවරණ වේදිකාවේ පොදු ජනතාව ඇමතුවා. එහිදී මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ලබාදුන් ධෛර්ය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉන් පසුව වසර දහයකට පසුව කලාකරුවන් අමතන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේය. එයද මා ලද භාග්‍යයකි. කලාකරුවන් අප සැම එතුමාගේ ජයග්‍රහණයට කැපවෙනවා.

ප්‍රවීණ ගායනවේදී සිසිර සිරිවර්ධන මහතා- සජිත් ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් විශ්වාසය තබා ගනිමු. එතුමාගේ පියාගේ මෙහෙවර සිහිපත් කරගෙන රටේම බලාපොරොත්තුව වන සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති කිරුළ පළඳවමු.

වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා කලාකරුවන් අමතමින් ස්තූති කතාව කළේය.

මෙම අවස්ථාව නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, රාජ්‍ය ඇමැති බුද්ධික පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායක, එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහත්වරුන් ඇතුළුව වීණා ජයකොඩි, සුමනා අමරසිංහ, නීටා ප්‍රනාන්දු, චන්දි රසිකා, රූකාන්ත, චන්ද්‍රලේකා ගුණතිලක, චන්ද්‍රිකා සිරිවර්ධන, එම්. නියාස් ඇතුළුව කලා ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම නියෝජනය කරමින් කලාකරුවෝ රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න