විස දුමින් වැසුණු දිල්ලිය යථා තත්ත්වයට | දිනමිණ

විස දුමින් වැසුණු දිල්ලිය යථා තත්ත්වයට

මිලියන 20ක ජනජීවිතයට බලපෑම්

විස දුමකින් වැසුණු ඉන්දියාවේ නව දිල්ලිය කෙමෙන් යථා තත්ත්වයට පත් වන බව වාර්තා වේ.

ඉන්දීය කාලගුණ අංශවලට අනුව 900ක අගයක පැවැති වායු ගුණාත්මක දර්ශකය මේ වන විට වර්ෂාව සහ සුළඟ නිසා 244ක අගයකට අඩු වී තිබේ. මුළු නගරයම මීදුමක් වැනි විෂ වායු පටලයකින් වැසී යාම නිසා මිලියන 20ක පමණ ජනතාවගේ ජන ජීවිතය අඩාල වූ අතර වායු ගුණාත්මක දර්ශකයේ යාවත්කාලීන අගයෙන් පසු නැවතත් සුපුරුදු ජන ජීවිතයට ඔවුන් හැඩගැසෙන බව එරට මාධ්‍ය දන්වා සිටියි. වසා දැමුණු පාසල් ද මේ සමඟම නැවතත් ආරම්භ වී තිබේ.

ශීත සෘතුව උදාවන සෑම විටම ඉන්දියාවේ අගනුවර මෙම දුම් පටලයෙන් වැසී යන අතර වසරින් වසර වායු ගුණාත්මක දර්ශක අගය වැඩි වන බව අධ්‍යයනය කර ඇත. මෙම ඉහළ වායු දූෂණය සඳහා වාහනවලින් සහ කර්මාන්තශාලාවලින් පිටවන දුම මෙන්ම අසල්වැසි ප්‍රාන්තවල කෘෂිකාර්මික කටයුතු සඳහා කරන ගිනිතැබීම් හේතු වී තිබේ. සති කිහිපයකට පෙර පැවති දිවාලි උත්සවය වෙනුවෙන් කළ ගිනිකෙලි නිසා වායුගෝලයට එක් වූ කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර අතට හැරුණු බව කියැවේ. සුළං ප්‍රවාහය සමඟ මෙම වායු දූෂණ තත්ත්වය ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අගය ගණනින් 40ක් වූ කොළඹ නගරය ආශ්‍රිත වායු ගුණාත්මක දර්ශකය 148ක් දක්වා වර්ධනය වී ඇත. ආසියාවේ රටවල් රැසක මෙම තත්ත්වය දක්නට ලැබී ඇති අතර මේ සමඟ පරිසරය පිළිබඳ වෙන කවරදාටත් වඩා සිතීමේ අවශ්‍යතාව ජනතාවට අවබෝධ වෙමින් පවතී.

තිසරණී විජයබණ්ඩාර

නව අදහස දක්වන්න