ශ්‍රී ලංකා-පාකිස්තාන පළමු ටෙස්ට් තරගය | දිනමිණ

ශ්‍රී ලංකා-පාකිස්තාන පළමු ටෙස්ට් තරගය

ප්‍රින්ස් ගුණසේකර

තෙවැනි දිනයම ඕවර් 5කට සීමා වෙයි

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අයහපත් ආලෝක තත්ත්වය හා මීදුම් සහිත කාලගුණය හේතුවෙන් ඕවර් 5.2කට සීමා වෙයි. මෙතක් දින තුනේදීම තරගය ආරම්භවෙද්දී අයහපත් ආලෝකය හේතුවෙන් විදුලි ආලෝක ධාරා මැද තරගය ආරම්භවූ අතර රාත්‍රියේ ඇද හැලුන වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ පස්වරු 1.45 දක්වා නොපැවැත්වුණි. අනතුරුව තරගය ආරම්භවුවද මිනිත්තු 25ක් ගතවෙද්දී යළිත් අයහපත් ආලෝක තත්ත්වය හා මීදුම සහිත කාලගුණය සැලකිල්ලට ගෙන ක්‍රීඩාව අත්හිටුවීමට විනිසුරුවෝ තීරණය කළහ.

රාවල්පින්ඩි නුවර පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල පෙරේදා තරගය නතර කරද්දී කඩුලු 6කට ලකුණු 263ක් ලබා සිටි අතර ඊයේ දිනයේ තවත් ලකුණු 19ක් ලකුණු පුවරුවට එක්කොට කඩුලු 6ට ලකුණු 282ක් සටහන් කළේය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 87ක් හා දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 6ක් ලබා සිටි අතර දෙදෙනාගේ නොබිඳුණු සබඳතාව ලකුණු 26ක් විය.

වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භවී පැවැත්වෙන පළමු තරගය දැක බලා ගැනීමට ඊයේ දිනයේත් 4000කට අධික ප්‍රේක්ෂක පිරිසක් පින්ඩි ජාත්‍යන්තර පිටියට පැමිණි සිටි අතර එහි ආශ්වාදය විදීමට නොහැකිව ආපසු හැරී ගියහ.

මේ ටෙස්ට් තරගය වෙනුවෙන් ඇති ක්‍රීඩාංගණ වැසි ආවරණ (covers) හා ක්‍රීඩාංගණය භාර සේවක මහතුන් ගණන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තරගය ආරම්භ කිරීම සෑම දිනකම ප්‍රමාද විය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙද්දී පිටිය භාර සේවක මහත්වරු 150ක් පමණ සේවයේ නිරත වුවද පින්ඩි ක්‍රීඩා පිටිය භාර සේවක මහතුන් 20කට පමණ සීමාවී ඇත.

මේ හේතුවෙන් තණතිල්ල ඇතුළු ක්‍රීඩා පිටියේ වැසි ආවරණ (covers) ඉවත් කිරීමට මේ කුඩා සේවක පිරිස විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වේ. ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම පිටිය වැසි ආවරණවලින් (covers) වසා දැමුවද රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ පිටිය අඩක් පමණ ආවරණය කිරීම සිදුවේ. එබැවින් හතරේ සීමාව ආසන්නයේ ජලය රැදී තිබීමද තරගය ආරම්භවීමට තවත් බාධාවකි.

ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දින තුනක් අවසානයේදී පන්දුවාර 180ක් යැවිය යුතු වුවද, මේ රාවල්පින්ඩි පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී තවමත් යවා ඇත්තේ ඕවර් 91.5ක් පමණි.

වර්ෂාව හා අයහපත් ආලෝක තත්ත්වයෙන් කාලය අපතේ ගිය පළමු ටෙස්ට් තරගයේ අද සිවුවැනි දිනයයි

නව අදහස දක්වන්න