ඩිකැප්රියෝ ගේ ප්‍රේමයට මවගේ අනුමැතිය | දිනමිණ

ඩිකැප්රියෝ ගේ ප්‍රේමයට මවගේ අනුමැතිය

(සුජීව තේවහෙට්ටිගේ)

පෙම්වතෙකු සහ පෙම්වතියක අතර පවතින වයස් පරතරය වැඩි නම් එය පිටස්තර අයට ලොකු ප්‍රශ්නයක්. නමුත් ඒ පෙම් යුවළට නම් ඒ අඩුපාඩුවක් පෙනෙන්නෙ නැහැ.

පසුගිය කාලය පුරාම අහන්න, දකින්න ලැබුණේ මෙවැනි වයස් පරතර කැපී පෙනෙන පෙම් කතා සහ විවාහයන්. ඒ පෝලිමට එක්ව සිටින තවත් යුවළක් තමයි, මේ ඉන්නෙ. පෙම්වතා ඔබ කවුරුත් හොඳින් දැක පුරුදු, සම්මානලාභී ජනප්‍රිය නළු ලෙනාඩෝ ඩි කැප්රියෝ. පෙම්වතිය කමිලා මොරෝන්. ඇය නිරූපිකාවක් සහ නිළියක්.

ඩිකැප්රියෝ ගෙ වයස 45යි. මොරෝන් තවමත් 22 වැනි වියෙහි පසුවන යුවතියක්. ඩිකැප්රියෝ - මොරෝන් පෙම් කතාව ඇරඹුණේ 2018 ජනවාරි මාසයේදි. එතැන් පටන් දෙදෙනා ම මුණ ගැසුණේ හොර රහසේ. විශේෂයෙන් ම ඩිකැප්රි‍යෝ වෑයම් කළේ තම පෙම් කතාව ලොවෙන් වසන් කර තබන්නයි.

ඒත් ඔවුන් පසු පස හඹා ගිය පැපරාසින් නිසා එය රහසක් වුණේ නැහැ. කොහොම වෙතත්, තවමත් ඩි කැප්රියෝ, මොරෝන් ව හමුවන්නේ රහසේ. පසුගියදාක ඔහු ඇයව හමුවී ඇත්තේ බේස් බෝල් ක්‍රීඩකයෙකු ලෙස වෙස්වළාගෙන. කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටි සුප්‍රකට මට්සුෂියා අවන්හලේ රාත්‍රියකදී මුණ ගැසුණු දෙදෙනා රාත්‍රී ආහාරය ගත් බවයි හෙළි වී ඇත්තේ.

තමන්ගේ හද දිනාගත් කමිලා මොරෝන්ව සඟවා තබා ගන්න උත්සාහ කළත් ඩි කැප්රියෝට එය තම මවගෙනුත් වසන් කරන්න හැකි වෙලා නැහැ. ඔහුගේ මව, අර්ම්ලින් මහත්මිය මො‍රෝන් ගැන හොඳින් සොයා බලලා ඇය, තම පුතුට හොඳින් ම ගැළපෙන බවයි අර්ම්ලින් මහත්මියට ඒත්තු ගොස් ඇත්තේ.

ඒ නිසා මොරෝන් තම ලේලිය හැටියට පිළිගන්නත් ඩි කැප්රියෝගේ මව සූදානම් කියලයි ආරංචි. ළඟදී දිනයක දෙදෙනාගේ විවාහය සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් මොරෝන්ව ඩිකැප්රියෝට යෝජනා කිරීමේ කටයුත්තට මුල පිරීමටත් අර්ම්ලින් මහත්මිය ලක ලැහැස්ති වෙනවාලු.

ඒත්... ඩි කැප්රියෝගෙන් ඊට අනුමැතිය තාමත්ලැබී නැතිලු. ඒ ගැන කතා කරනවිට මග හැරයාමට ඩිකැප්රියෝ වැඩි කැමැත්තක් දක්වන බවයි හොලිවුඩ් ආරංචි පවසන්නේ.

නව අදහස දක්වන්න