ජනපති උපදෙසින් ඉදිරි මාස දෙකේ දී ලක්ෂ දෙකකට ඉඩම් ඔප්පු | දිනමිණ

ජනපති උපදෙසින් ඉදිරි මාස දෙකේ දී ලක්ෂ දෙකකට ඉඩම් ඔප්පු

ඇමැති එස්. එම්. චන්ද්‍රසේන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනමින් ඉදිරි මාස දෙක ඇතුළත ඉඩම් ඔප්පු ලක්ෂ දෙකක් ලබාදීමට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. එහි පළමු ඔප්පු ප්‍රදානය ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේ දී සිදු කිරීමට තීරණය කර තිබෙනවා. යැයි වනජීවී, පරිසර, ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඇමැතිවරයා හේ බව පැවැසුවේ පසුගිය දා (07) අනුරාධපුර රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ජංගම සේවයට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

වන අලි ප්‍රශ්නයට අප ඉතාම ඉක්මණින්ම විසඳුම් ලබාදීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය නැති කළා නම් මේ ප්‍රශ්න එතරම් ප්‍රශ්න නොවෙයි.

සිවිල් ආරක්ෂක නිලධාරීන් 3000ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බඳවා ගැනීමට සියල්ල සූදානම් කර තිබෙනවා. හෙට (11) සිට වන අලි එන ගම්මානවල ඒකක පිහිටුවා ඒ ගම්වලට තුවක්කු සහිතව වන ජීවී සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙනවා. අලි වැටවල් ඉදිකර අවසන් වන තෙක් සිවිල් ආරක්ෂක සහ වන ජීවී නිලධාරීන්ට නැවතුම් ඒකක සඳහා ප්‍රජා ශාලා, මරණාධාර සමිති, විහාරස්ථාන ප්‍රයෝජනයට ගැනීමට සූදානම් කර තිබෙනවා. මේ ප්‍රශ්නය මාසයක් ඇතුළත විසඳීමට කටයුතු දැනටමත් සූදානම් කර තිබෙනවා.

අභියෝග ජය ගැනීමට අප සූදානම්. අනුරාධපුර දිස්ත්‍රික්කයට 1947න් පසු තමයි ඉඩම් ඇමැති කෙනෙක් මෙවර පත් වෙන්නේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ පිළිබඳව දැනගෙන මෙවර ඉඩම් ඇමැති ධූරය අනුරාධපුර දිස්ත්‍රික්කයට ලබා දී තිබෙනවා. මැතිවරණයට පෙර විශාල වැඩ කොටසක් සිදු කිරීමට අපට උපදෙස් ලබා දී තිබෙනවා. කිසිම බලපත්‍රයක් නොමැතිව වසර ගාණනක්ම පදිංචි අය සිටිනවා. බල පත්‍රයක් ලබාගෙන තමයි ඔප්පුවක් ලබා ගන්න ඕන. බලපත්‍ර තිබෙන අයට කඩිනමින් ඉඩම් ඔප්පු ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අද මෙතැනට ඇමැතිවරයා, අමාත්‍යාංශ ලේකම්, අමාත්‍යාංශ ඉඩම් කොමසාරිස්, පළාත් ඉඩම් කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, වන ජීවී නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පැමිණ තිබෙනවා. සියලු ප්‍රශ්න විසඳීමට අවශ්‍ය සියලු දෙනාම එක තැනක ඉන්නවා. ජනතාවට කඩිනමින් සේවය කිරීමට ජනාධිපතිවරයා අපට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අවස්ථාවට පළාත් සභා හිටපු ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

 

හිඳෝගම සමූහ

චිත්‍රාරත්න කළුආරච්චි

ඡායාරූපය - හිඳෝගම සමූහ

නව අදහස දක්වන්න