මනෝරත්නයන්ගේ අභාවය | දිනමිණ

මනෝරත්නයන්ගේ අභාවය

සමස්ත සමාජයටම පිරිමැසිය නොහැකි පාඩුවක් 
- රාජ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල

දශක පහක කාලයක් ලාංකේය කලා කෙත සුපෝෂිත කළ මෙරට බිහි වූ අග්‍රගන්‍යම කලාකරුවෙකු ලෙසින් මෙරට කලාවේ අමරණීය සටහන් තැබූ අාචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවය මෙරට කලාවට පමණක් නොව සමස්ත සමාජයටම පිරිමැසිය නොහැකි පාඩුවක් බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අායෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ අාචාර්ය ජයලත් මනෝරත්න ශූරීන්ගේ අභාවය පිළිබද ශෝක පණිවුඩයක් නිකුත් කරමිනි. එම පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

වේදිකාව,රූපවාහිනිය, මෙන්ම සිනමාවෙන් හිනිපෙත්තටම ගිය මනෝරත්න ශූරීන් කලාවේ කොතරම් ඉදිරියට ගියද කිසිදා ඉන් උඩඟු නොවූ අතර බොහෝ නම්‍යශීලී වූ ඔහු සමාජයේ සෑම අයකුගේම හදවත් දිනාගනු ලබුවේ සමාජයට විශිෂ්ට ආදර්ශයක් සපයමිනි. ඈත දුෂ්කර ප්‍රදේශයක ඉපද කලාවේ බොහෝ තැන් ස්පර්ශ කළ මේ කලාකරුවා කලාතුරකික් කලාවට දායාද වන අපූර්වතම බහුශ්‍රැත කලාකරුවකු වේ. එවන් කලාකරුවන් රටකට මිල කළ නොහැකි සම්පත්ය. පාසැල් වේදිකාවේ අංකුර රංගන ශිල්ලියෙකු ලෙස කලාවට අත්පොත් තැබූ මනෝරත්නයන් වේදිකාවට එහා යමින් රූපවාහිනියද, රූපවාහිනියට එහා යමින් සිනමාවද ඉහළින්ම ජයගත් විශිෂ්ඨ කලාකරුවෙකි. එවන් කලාකරුවන් රටේ හෙට දවසට අවැසිම මොහොතක ඔහුගේ නික්ම යාම රටට පිරිමැසිය නොහැකි පාඩුවකි. මෙරට රංගන කලාවේ මෑත කාලීන ගුරුතරුව වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ හිඩැස ලෙහෙසියෙන් කිසිවෙකුට පිරවිය නොහැකි වුවත් ඔහු ආදර්ශයට ගෙන කටයුතු කිරීම මෙරට කලාවට එක්වන සෑම අයකුගේම යුතුකමකි.


නව පරපුරට උගත හැකි පාඩම් බොහොමයි 
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මෙරට ප්‍රමුඛ පෙළේ සම්මාන රැසකින් පිදුම් ලැබූ කුසලතා පූර්ණ ශිල්පියකු වූ ප්‍රවීණ රංගධර කලාකීර්ති ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ හදිසි නික්ම යෑම පිරිමැසිය නොහැකි පාඩුවක් බවත් කලාකෙතට පෑයූ ගුරුතරුව වූ ඔහුගෙන් නව පරපුරට උගත හැකි පාඩම් බොහෝ ඇති බවත් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.

එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

හැත්තෑඑක් වසක දිවි මඟේදී වේදිකා නාට්‍ය හැත්තෑ පහකට, සිනමා කෘති හතළිහකට සහ ටෙලි නාට්‍ය හතළිහකට රංගන දායකත්වය සපයමින් මනෝරත්නයන් මෙරට අග්‍රගන්‍ය රංගධරයකු බවට පත් වූයේ උසස් රසික ප්‍රතිචාර මධ්‍යයේය. ඔහු ජනාධිපති සම්මානයෙන්, සරසවි සම්මානයෙන් හා මෙරට ප්‍රමුඛ පෙළේ සම්මාන රැසකින් පිදුම් ලැබූ කුසලතා පූර්ණ ශිල්පියෙකි. රංගනයෙන් මෙන්ම ඔහුටම ආවේණික වූ ගායන ශෛලියෙන් අප පින වූ මනෝරත්නයන්ගේ හදිසි නික්ම යාම පිරිමැසිය නොහැකි පාඩුවකි. ඔහුගේ පවුලේ ඥාතීන් වෙත මාගේ සාතිශය සංවේගය පළ කරමින් අභාවප්‍රාප්ත ආචාර්ය මනෝරත්නයන්ට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

නව අදහස දක්වන්න