මේක සිංහල හා දෙමළ චිත්‍රපටයක් | දිනමිණ

මේක සිංහල හා දෙමළ චිත්‍රපටයක්

සෝමරත්න දිසානායක

චිත්‍රපටයේ ප්‍රධාන තේමා වන්නේ මාතෘත්වය, දාරක ස්නේහය, මවුපිය සෙනෙහස කියන විශ්වීය සාධකයයි. දියණියකට උරුමකම් කියන මව්පිය යුවළ දෙකක් මේ චිත්‍රපටිය තුළ

මුණගැසෙනවා.

පසුගියදා බංග්ලාදේශයේ පැවති ඩකා අන්තර් ජාතික සිනමා සම්මාන උළලේදී "සුනාමි" සිනමා පටයට හොඳම නිළියට හිමි විචාරක සම්මානයත් (නිරංජලා සංමුගරාජා) හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මාණයත් (විශ්වා බාලසූරිය) හිමිවිය. මේ දිනවල දිවයින පුරා සාර්ථකව ප්‍රදර්ශනය වන "සුනාමි"හී අධ්‍යක්ෂවරයා වන ආචාර්ය සෝමරත්න දිසානායක සමඟ කළ සුහද සංවාදයයි මේ.

 

"සුනාමි" චිත්‍රපටය නිර්මාණය වන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්ද?

ඔව්. මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරින්. එක්තරා පුවත්පතක පළවුණු ප්‍රවෘත්තියක් දැක්කම මට හිතුණා, ඒ සිදුවීම තුළ සිනමාවට උචිත කතාන්දරයක් පවතින බව.

ඒ සිදුවීමට සම්බන්ධ චරිත හොයාගෙන මඩකලපුව, කල්මූණේ, මහනුවර වගේ ප්‍රදේශවලට මං ගියා. සිදුවීමට සම්බන්ධ පවුල් සහ දෙමාපියන් හමුවුණා .මෙය අධිකරණයේ පැවැති නඩුවක්. මේ සිදුවීමට සම්බන්ධ නීතිඥවරුන් හමුවී කතාබහ කළා. පසුව සත්‍ය කතාව ඇසුරු කරගෙන සිනමාවට ගැළපෙන ආකාරයෙන් තිරනාටකය රචනා කර සිනමාවට නගන්න එය මට හැකි වුණා.

මෙහි තේමාව ගොඩ නැගෙන්නේ මාතෘත්වය පදනම් කර ගෙනයි ?

චිත්‍රපටයේ ප්‍රධාන තේමා වන්නේ මාතෘත්වය, දාරක ස්නේහය, මවුපිය සෙනෙහස කියන විශ්වීය සාධකයයි. දියණියකට උරුමකම් කියන මව්පිය යුවළ දෙකක් මේ චිත්‍රපටිය තුළ මුණගැසෙනවා . එක් යුවළක් ද්‍රවිඩ සම්භවයකින් පැවත එනවා. ඒ වගේම අනෙක් යුවල සිංහල සම්භවයකින් පැවත එනවා. ජාතීන් දෙකක මව්පියන් දෙපිරිසක්, එකම දරුවෙකුට අයිතිවාසිකම් කීම තුළින් මා උත්සාහ කළේ, මනුෂ්‍යත්වය මතුකරන්න.

මේ මහ පොළොව ලඝු කරන්න හැකි මනුෂ්‍ය ජාතියට පමණයි. මහ පොළොව තුළ පැවැතිය යුත්තේ ඒ මනුෂ්‍යත්වයයි . "සුනාමි" චිත්‍රපටයෙන් මා කියන්න උත්සහා කළේ මේ යථාර්ථය. අපි හැමදෙනාම එකතු වුණොත් මිනිසත්කමේ දහම රැකගන්න පුළුවන් .

මේ සිනමා පටය සඳහා සුනාමි ඛේදවාචකය නැවත ප්‍රතිනිර්මාණය කරන්නට ඹබට සිදුවනවා?

චිත්‍රපටයේ ප්‍රධානම අභියෝගය වුණේ ඒ කාරණාවම තමයි. සිනමාකරුවෙක් විදිහට මම සූදානමින් හිටියා, ඒ කාර්යය චිත්‍රපටය තුළ ජයගන්න. නව්‍ය තාක්ෂණය මේ සඳහා යොදාගන්න අපට හැකියාව ලැබුණා. ඇතැම් දෘෂ්‍ය ප්‍රයෝග සාර්ථකව නිම කිරීම සඳහා තාක්ෂණික ඉංජිනේරුවන් සහාය කරගන්නට අපට ලබා ගන්නට සිදු වුණා . ඒ නිසාම සුනාමි ඛේදවාචකය සිනමා තිරය මත නැවත ප්‍රතිනිර්මාණය කරන්න හැකිවුණා. එය නැරඹූ බොහෝ දෙනෙක් විමසන කාරණයක් තමයි ඇත්තම සුනාමි දර්ශනද මේ සඳහා යොදාගෙන තියෙන්නෙ කියලා.

ඒ තරමටම මේ දර්ශනයන් තාත්විකව නිර්මාණය කරන්නට අපට හැකියාව ලැබුණා. ඉතාමත් සුළු කාල පරාසයක චිත්‍රපටය තුළ දිව යන සිද්ධිදාමය මනුෂීයව කතාව ඉදිරියට රැගෙන යන්නට අතිශයින්ම වැදගත් වනවා. ඇත්තටම සුනාමියට මුහුණ දුන් අය පවා මෙම චිත්‍රපටය නරඹා ඔවුන්ගේ අත්දැකීම් අප සමග බෙදා ගනිමින් ඉන්නේ. මෙහිදී කාර්මික ශිල්පීන්ට එහි ගෞරවය විශේෂයෙන්ම හිමිවේ යුතුයි.

ඔබේ චිත්‍රපටයකට නමක් තෝරාගැනීමත් විශේෂ අවදානයට ලක්වනවා. "සුනාමි" චිත්‍රපටය වෙනුවෙන් අපූරු හැඩතලයකින් නම පවා නිර්මාණය වනවා ?

නිර්මාණශීලී ඇසකින් අපි ඒ දෙස බැලිය යුතු බවයි මගේ අදහස. මෙය චිත්‍රණය කිරීමේදී අපි සංකල්පයෙන් කීපයක් පිළිබඳව අත්හදා බැලුවා. එය නිර්මාණය වන්නේ වරක් දෙවරක් නොවේ හත් අට වතාවක් කළ නිර්මාණ අතුරින්. මේ චිත්‍රපටිය සිංහල හා දෙමළ චිත්‍රපටයක් විදිහටයි මම හඳුන්වන්න කැමැති. මෙය සිංහල හා දෙමළ රංගන ශිල්පීන් එක්වන චිත්‍රපටයක්. භාෂාවන්ද මිශ්‍රව භාවිතා වනවා. "සුනාමි" කියන නම මෙහි නිර්මාණය වන්නේ දෙමළ අක්ෂරය නමේ මැද අකුරට යොදා ගනිමින්. නමුත් එය සිංහල කෙනෙකුට වුවත් එකවර කියවා ගත හැකියි. එවැනි රූපකයක් නිර්මාණය කරන්නට උත්සාහ කළේ ඒ තුළින් මතුවන සංකේතාත්මක අර්ථය කිසියම් ආකාරයකින් හැඟවුමක් ලෙස යොදාගන්නා අදහසිනුයි.

ඔබේ සිනමා භාවිතය තුළ ළමා චරිත සූක්ෂමව යොදා ගැනීම නිරන්තරයෙන් අප දකින කාරණයක් ?

ළමුන් හරහා සියුම් කතන්දරයක් කියන්නට මා නිතර උත්සාහ කරනවා. නමුත් මගේ චිත්‍රපට ළමා චිත්‍රපට විදිහට මා හඳුන්වන්නේ නෑ. ළමයාගෙන් තොරව සමාජයේ සැබෑ මිනිසත්කම පවතින්නේ නැහැ. වැඩිවියට පත්වීමත් සමගම අපි විවිධ සීමාවලට කොටු වීමකට ලක් වෙනවා. දරුවන් කුලයකට, පන්තියකට, ජාතියකට, ආගමිකට, පක්ෂයකට පරාරෝපණය වන්නේ ඹවුන් වැඩිවියට පත්වීමෙන් අනතුරුවයි. නිදහසේ කුරුල්ලන් මෙන් ජීවත්වන ළමා කාලය ,ජීවිතය තුළ නිකැළැල් වයස විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ ළමා ලෝකය හරහා වැඩිහිටියන්ට කතා කිරීම ප්‍රබල, සංවේදී අර්ථ මතු කරගන්නට ඉතාමත් පහසුයි.

සිනමා කෘතියක් මුලින්ම නිර්මාණය වන්නේ අධ්‍යක්ෂවරයාගේ මනස තුළ ?

ඔව්. නිර්මාණයක් බිහිවන්නේ පළමුවෙන්ම නිර්මාණකරුවාගේ මනස තුළයි. අපි මනසින් දකින ඒ නිර්මාණය සියයට සියයක්ම සාර්ථක වන අවස්ථා ඉතාමත්ම විරලයි. ඒ ආසන්නයට හෝ ගමන් කරන්නටයි අපි පරිශ්‍රමයක් දරන්නේ.

මගේ චිත්‍රපට දිහා ආපහු හැරිලා බලද්දි කිසියම් හැගීමක් මා තුළත් ඇතිවන අවස්ථා තියෙනවා. සියයට සියයක් නිර්මාණකරුවන් තෘප්තිමත් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒක මටත් පොදුයි.

ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගැනීම කිසියම් ආකාරයක වාසනා ගුණයක් අවශ්‍යයි.

ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගත්තේ මගේ සිනමා නිර්මාණයි. එය මට මහත් ගෞරවයක්. මෙතෙක් වින්ද අත්දැකීම් වලට වඩා අලුත් අත්දැකීමක් "සුනාමි" චිත්‍රපටයෙන් ඔබට ලැබේවි කියලා මම විශ්වාස කරනවා. ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා "සුනාමි" චිත්‍රපටය නරඹන්න. නරඹා මාත් එක්ක කතා කරන්න.

 

සංවාදය

ෂර්ලි සමරසිංහ

නව අදහස දක්වන්න